Showing posts with label සිංහල කැම පොත. Show all posts
Showing posts with label සිංහල කැම පොත. Show all posts

Saturday, December 21, 2024

242. මාළු මිරිසට සාදාගන්නා ආකාරය

මාළු මිරිසට හදමු...


🎋අවශ්‍ය ද්‍රව්‍ය :-

🧩කෙලවල්ලා මාළු 300g(කැමති මාළු වර්ගයක් ගන්න )
🧩මිරිස් කුඩු මේස හැදි එකහමාරක් 
🧩ගම්මිරිස් කුඩු තේ හැදි 1ක් 
🧩අමු තුන පහ තේ හැදි 1ක් 
🧩බැදපු තුන පහ තේ හැදි 1ක් 
🧩රස අනුව ලුණු කුඩු 
🧩කපාගත් බී ලුණු පොඩි ගෙඩියක් 
🧩රම්පේ කරපිංචා 
🧩අමුමිරිස් කරල් තුනක් 
🧩ගොරකා බික් දෙකක් 
🧩පොඩි තක්කාලි ගෙඩියක් 
🧩තලාගත් එනසාල් කරාබු නැටි තුන බැගින් 
🧩කුරුදු පොතු කැබැල්ලක් 
🧩සුදුරු තේ හැදි කාලක් 
🧩උලුහාල් තේ හැදි කාලක් 
🧩පොල් තෙල් මේස හැදි දෙකක් 

🎋සාදන ක්‍රමය :-

👉මුලින්ම මාළු ටික කපා සෝදා පිරිසිදු කර ගන්න ...කැමති මාළු වර්ගයක් ගන්න පුලුවන් ..
👉පසුව මැටි ඇතිලියක් ලිපේ තබා තෙල් දාලා රත් වු පසුව එයට උලුහාල් ,සුදුරු ඇට දමා ගන්න ...ටික වේලාවක් තබා තලාගත් එනසාල් කරාබු නැටි කුරුදු පොතු දමා ගෙන කපාගත් බී ලුණු ,රම්පේ කරපිංචා ,අමුමිරිස් දමා තෙම්පරාදු කර මිරිස් කුඩු ,තුනපහ ,ගම්මිරිස් කුඩු ,බැදපු තුන පහ දමා කලවම් කර ගන්න ..විනාඩි දෙක තුනක් පමණ මේ සියල්ල බැද තක්කාලි ,ගොරකා දමා වතුර කොප්ප එකක් පමණ දමා ගන්න ...
👉පසුව මාළු ටිකක් පරිස්සමට දමා ගන්න ...මාළු කැඩෙන්නේ නැති වෙන්න හැන්දකින් එහෙමට මෙහෙම පෙරල ගන්න ...
මේ වගේ දෙතුන්පාරක් විතර කරමින් විනාඩි 15ක් පමණ උයා ගන්න....දාපු වතුර ප්‍රමාණය බාගයක් පමණ වගේ වෙනකල් සිදෙන්න දෙන්න ...පසුව ලුණු ඇඹුල් බලා ලිපේන් බාගන්න ...
ගොඩාක් රසයි හදලා බලන්න ...
💥රෙසපි උපුටා ගෙන ,කොපි කර පල කීරිමෙන් වලකීන්න ශෙයා කර ගෑනීමට පමණක් කාරුණික වන්න ....
Sandya kumari ...✍️📸🇱🇰
2024/12/20 (49)
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, November 15, 2024

241. කුකුල්මස් බැදල කළුවට සාදාගන්නා ආකාරය

කුකුල්මස් බැදල කළුවට උයල.


මෙහෙම හදල හරිම රසයි.වෙනසකටත් එක්ක හදල බලන්න..

අවශ්‍ය දෑ-

*චිකන් 500-600g
*බැදපු තුනපහ කුඩු තේ හැඳි 2ක්
*ගම්මිරිස් කුඩු තේ හැඳි4 ක්
*මිරිස් කුඩු තේ හැඳි 3 ක්
*කහ පිංචක්
*කපාගත් ළූනු ගෙඩියක්
*තලාගත් ඉඟුරු සුදුළූනු මේස හැන්දක්
*‍රම්පා කරපිංචා 
*තක්කලි ගෙඩි 2ක්
*සියඹලා මද දෙකක් පමණ
*අවශ්‍ය තරමට ලුණු
*කුරුඳු පොත්තක්
*තලාගත් කරදමුංගු හා කරාබුනැටි
*පොල් තෙල්

-----------------------------------------------------------------

**කුකුළ්මස් ටික සෝදා වතුර බේරෙන්න තබන්න.
හොඳින් වතුර බේරුනු පසු,ලුණු හා කහ ස්වල්පයක් දමා මිශ්‍රකර ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් බැදගන්න.

**මැටි බඳුනක් ගෙන කුකුල්මස් බැදගත් තෙලින්ම තෙල් ස්වල්පයක් එක්කරන්න.එය රත්වන විට ඉඟුරු,සුදුළූනි,කරදමුංගු,කරාබුනැටි,රම්ප,කරපිංචා,කුරුඳු පොත්ත එක්කරන්න.

**විනාඩියක් පමණ බැදෙන්නට හැර කපාගත් තක්කලි හා ළූනු එක්කරන්න.(දෙකම බ්ලෙන්ඩර් කර පේස්ට් එකක් අයුරින් ගත්තානම් වඩාත් හොඳයි)

**තක්කලි හොඳින් මැලවුනු පසු එයට තුනපහ,මිරිස්,ගම්මිරිස් එක්කරන්න.එයත් විනාඩියක් පමණ මිශ්‍ර කර බැදගත් කුකුල්මස් එක්කරන්න.මිශ්‍ර කරන්න.

**කුකුල්මස් වැසී නොයන සේ වතුර එක්කරන්න.අවශ්‍ය නම් පොල් කිරි එක්කරගත හැක.නමුත් තෙල් හා පොල් කිරි දෙකම යොදා මස් ඉවීම එතරම් සුදුසු නැහැ.නමුත් කිරි එක්කරොත් රස වැඩී.

**අවශ්‍ය තරමට ලුණු හා සියඹලා එක්කරන්න.කලින් මස්වල ලුණුත් ඇති නිසා ලුණු එක්කිරීමේදි සැළකිලිමත් වන්න.පියනකින් වසා තබන්න..යන්තමින් ඉස්ම ගතිය තිබියදි ලිපෙන් බාගන්න..

බත්,රොටි,පාන්,නාන් කෑමට වඩාත් සුදුසුයි.
අවශ්‍ය නම් ලිපෙන් බෑමට පෙර කපාගත් මාළුමිරිස් එක්කරන්න.(කුළුබඩු ඔබට අවශ්‍ය පමණින් අඩුවැඩි කරගන්න)
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, August 23, 2024

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍ය

*໑໑ 88 (corn flour)

*ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml

*සීනී 300g

*සීනී දිය කිරිමට වතුර 250ml

*දෙහි මේස හැන්දක්

*අවශ්‍ය නම් කැමති පාටක්, රසකාරක

*බටර් මේස හැදි 2

මුලින් ම ඉරිගු පිටි වතුර 130ml දිය කරගන්න.දැන් පෑන් එකට සීනී හා සීනී දිය කිරීමට තැබූ වතුර 300ml,දෙහි යුෂ මේස හැන්ද එකතු කර සීනී ටික දිය වෙනතුරු කවලම් කරගන්න (කැරමල් කිරීමට අවශ්‍ය නෑ)

හොදින් දියවූ සීනී මිශ්‍රණයට දිය කරගත්ත ඉරිගු පිටි මිශ්‍රණය එක් කරගන්න. (මෙය ඉක්මනින් ඝන වෙනවා )

තරමක් ඝන වූ විට , ලුණු,කැමති පාටක්, රසකාරක එක් කරගන්න.

තබාගත් බටර් ටික ටික මිශ්‍රණයට එක් කරගන්න.වි.25-30ක් වගේ යද්දී මිශ්‍රණය එක ගුලියට එනවා. දැන් බටර් ගාගත්ත තැටියක මිශ්‍රණය තුනී කර නිවෙන්නට තබා කෑලී කපා ගන්න

දැන් පුළුවන් හදාගත්ත මස්කට් ටික අමුත්තනට පිළිගන්වන්න .... 

උපුටාගැනීමකි
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Thursday, August 22, 2024

238. මෙක්සිකන් ක්‍රමයට සැකසූ අලිගැටපේර සලාදය

මෙක්සිකන් ක්‍රමයට සැකසූ අලිගැටපේර සලාදය


අපි පුරුදුවෙලා ඉන්නෙ අලිගැට පේර රසවත් පානයක් ලෙසත් සකස් කරගන්නටයි. මෙක්සිකානු කෑම වලට නම් අලිගැටපේර වරදින්නේ නැහැ, පහතින් දැක්වෙන ආකාරයට මෙම රසවත් ගුණවත් සලාදය ඔබට පහසුවෙන් සාදා ගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය:

අලිගැටපේර ගෙඩියක්
කුඩා බී ළූණු ගෙඩියක්
කහපාට, රතුපාට සහ කොළපාට බෙල්පෙපර් ස්වල්පයක්
මින්චි කොළ කිහිපයක්
ග්‍රේට් කරගත් චීස් මේස හැඳි 2
 මුදවපු කිරි මේස හැඳි 2ක්
දෙහි යුෂ ස්වල්පයක්
තිබෙනවා නම් ඔලිව් ස්වල්පයක්
රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදන ආකාරය:

අලිගැට පේර ගෙඩියේ ‍පොත්ත ඉවත් කර කුඩා කොටුවලට කපාගන්න. බී ළූණු, ඔලිව් සහ මින්චි කොළද සිහින්ව ලියා ගන්න. බෙල් පෙපර් කුඩා කොටුවලට කපාගන්න. භාජනයක් ගෙන එයට මුදවපු කිරි, දෙහි යුෂ, ගම්මිරිස්, ලුණු එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. එයට අලිගැටපේර, ඔලිව්, බී ළූණු සහ බෙල්පෙපර් ද එක්කර පොඩිනොවන සේ කලවම් කර ගෙන උඩින් ග්‍රේට් කරගත් චීස් දමා කෑමට ගන්න.

මෙම සලාදය බෙරි නොවුණු අලිගැටපේර ගෙඩියක් තෝරාගන්න මතක තබාගන්න. යෝගට්, මී කිරි වූවත් මෙයට එක් කරගත හැකියි. මෙම සලාදය ආහාරයට ගැනීමට පැය භාගයකට පමණ පෙර පිළියෙල කරගැනීම වඩාත් සුදුසුයි. උත්සවයක බත රස කරන්න ඉතාමත් සුදුසු මෙම රසවත් සලාදය හදල බලන්න අමතක කරන්න එපා.

මුල් හිමිකරුට ස්තුතියි ❤❤❤👍👍👍🙏🙏
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, July 7, 2023

212. දෙල් වලින් රස කට්ලට් සාදාගන්නා ආකාරය

🟢දෙල් කට්ලට් 


 📌අවශ්‍ය ද්‍රව්‍ය

දෙල් 500 g
කටු රහිත කුකුල් මස් 150 g
ලොකු ළූණු ගෙඩි 1
අමු මිරිස් කරල් 3
අබ තේ හැඳි 1
සූදුරු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
කෑලි මිරිස් කුඩු තේ හඳි 1
දෙහි බෑයක යුශ 
අවශ්‍ය පමන ලුණු 

📌කට්ලට් බැඳ ගැනීමට 

බිත්තර 2
පාන් කුඩු 
පොල් තෙල් 

📌සාදාගන්නා ආකාරය  🥣

ලුණු සහ කහ එකතු කර වාෂ්පයෙන් තම්බාගත් දෙල් ටික හොඳින් පොඩි කර ගන්න. ඉන්පසු මස් ටිකද කුඩා කැබලි වන සේ අඹරා පැත්තකින් තබා ගන්න. දැන් භාජනයක් ලිප තබා එයට පොල් තෙල් ටිකක් එක්කර පොල් තෙල් රත්වන විට අබ සහ සූදුරු එකතු කර අබ පුපුරන විට හීනියට කපාගත් ළූණු , අමු මිරිස් ද එක් කර තෙම්පරාදු කරගන්න. ළූණු ටික තැම්බෙන විට අඹරා ගත් මස් ද දමා හොඳින් කලවම් කරගන්න අතරතුර ගම්මිරිස් කෑලි මිරිස් සහ රස අනුව ලුණුද එකතුකර ගන්න. ඉන්පසු දෙල් ටික දමා සියල්ල හොඳින් මිශ්‍ර කර හදා ගත් මිශ්‍රණය නිවුන පසුව දෙහි යුෂ එකතු කර කුඩා බෝල සාදාගන්න. සාදාගත් බෝල ටික බිත්තර සාරු වල දමා (දෙවතාවක් පාන් කුඩු දවටා ගන්න) පාන් කුඩු තවරා ගෙන ගැඹුරු තෙලේ රන්වන් පැහැවන තෙක් බැදගන්න.

 📍ඔයා මස් මාළු නොකන කෙනෙක් නම් මස් අයින් කරලා කට්ලට් මිශ්‍රණය හදාගෙන බිත්තර සාරු වෙනුවට කෝන් පිටි සහ පාන් පිටි වලින් සාදා ගත් උකු මිශ්‍රණයක ගිල්වා පාන් කුඩු දවටා ගන්න.

 Ridmi Perera ❤️

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Wednesday, February 1, 2023

207. වට්ටක්කා තෙලට සාදාගන්නා ආකාරය

වට්ටක්කා  තෙලට සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍ය- 

රටලුනු ගෙඩි දෙකක් කපා ගත්
අමුමිරිස් කරල් දෙකක් කපා ගත්
කරපිංචා.රමිපා ටිකක් 
කැලි මිරිස් මෙිස හැදි 1
කහ කුඩු තේ හැදි 1/2
ගම්මිරිස් කුඩු තේහැදි 1
කුරුදු පොතු කැල්ලක්.එනසාල් කරල් 2
උමිබලකඩ කුඩු ස්වල්පයක් (තියේනම් පමනක්)
රස අනුව ලුනු
තෙල් මෙිස හැදි 2

සාදා ගන්නා ආකාරය:-

 කපා ගත්, රටලුණු, අමුමිරිස් කරපිංචා, රම්පා සියලු දේවල් ටිකක් ලොකු භාජනයකට දා ගෙන ඔබේ කැමත්ත අනුව කැලි මිරිස්, කහ, ගම්මිරිස් දා ගෙන රස අනුව ලුනුද දා ගෙන තියෙනවා නමි පමනක් උමිබලකඩ කුඩු ස්වල්පයක් එකතු කරන්න.

දැන් ඒසේරම දේවල් අතින් හොදට කවලම් කර ගන්න.

       පැන් එකක් අඩු ගින්දරේ ලිපේ තියා ගෙන එයට තෙල් මෙිස හැදි දෙකක් පමන දා ගෙන එය රත්වු පසු එයට කවලම් කරගත්ත 
රටලුණු ටික දා ගන්න.

 දැන් එයට කුරුදු කැල්ල සහ එනසාල් කරල් දෙකකත් දා ගෙන හොදට කවලම් කර ගෙන පියනකින් වහලා ලුණු ටික බැදෙන්න දෙන්න.

 තත්පර් දෙක තුනක් ගියාට පසු පියන ඇර හැන්දකින් කවලම් කර ගෙන ලුණු ටික බැදි ඇත්නම් රස අනුව ලුනු බලා කිුස්පියට බැදගත් වට්ටක්කා ටික එකතු කර ගෙන පොඩි නොවන්න කවලම් කර ගෙන නැවත රස අනුව ලුනු බලා තත්පර දෙකක් පමන ගිය පසු ලිපෙන් ඉවත් කර ගන්න.

දැන් ඉතා රසවත් අල වෙනුවට ආදේශ කර ගත් වට්ටක්කා තෙලට හදලා අවසන් ඉතිං

 හැදුවාම කියන්න බැහැ මෙි වට්ටක්කද කියලා ඒතරමි රසයි ඉතිං ඔයාලත් කැමති නම් මෙි දාලා තියෙන රෙසපියට හදලා ගෙදර අයත් එක්ක රස බලන්න ස්තුතියි

Dayangani peiris 

උපටාගැනිම -Garlic and Ginger
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Tuesday, January 26, 2021

193. තැම්බුම් හොද්ද හදාගන්නේ මෙහෙමයි

තැම්බුම් හොද්ද හදාගන්නේ මෙහෙමයි..!


අවශ්‍ය ද්‍රව්‍ය
    ●කොත්තමල්ලි
    ●සූදුරු
    ●ගම්මිරිස්
    ●කරාබු නැටි
    ●ඉඟුරු
    ●සුදු ළූණු
    ●රතු ළූණු
    ●සියඹලා
    ●රම්පේ
    ●කරපිංචා
    ●කුරුඳු
    ●අවශ්‍ය නම් අමු මිරිස් කරලක් 
    ●කහ ස්වල්පයක්
    ●ලුනු 

සාදන ක්‍රමය 

ඉහත ද්‍රව්‍ය සියල්ල අවශ්‍ය පමණට ගෙන මදක් තලා පොඩි කර අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා හොඳින් තම්බා පානය කරන්ට.
(උපුටාගැනීමකි)
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, December 11, 2020

190. කුකුල්මස් ස්ටූ සාදාගන්නා ආකාරය

කුකුල්මස් ස්ටූ සාදාගන්නා ආකාරය 



කුකුල් 1kg 
ලොකු ළූණූ ගෙඩි 5 
අමුමිරිස් කරල් 6 (මැදින් ඉරකින් වෙන් නොවන්න කපාගන්න ) 
කරපිංචා 
කුරුදුපොතු කෑල්ලක් 
 තලාගත් සුදුලූණූ බික් 20 
ගම්මිරිස් කුඩු මේස හැදි 3

 විනාකිරි මේස හැදි 2, 
අබ තේ හැදි 2 මේ දෙක එකට අඹරාගන්න.
 ( මන් ගත්තේ සුදු මිදි විනාකිරි ) 

සියඹලා ඇට 10ක් 
කහ,ලුනු එනසාල් 

සාදාගන්නා ආකාරය 
 කුකුල්මස් හොදින් සෝදා කහ ,ලුනු ,ගම්මිරිස් මේස හැදි 3 ,සියඹලා සහ වතුර දමා පැයක් තම්බගන්න වතුර හිදිලා ඉස්ම ගතිය එනකන්. ලූණූ රවුමට කපාගන්න .භාජනයකට තෙල් ටිකක් දමා රත් වූ පසු පලමුව තලාගත් සුදුලූණූ දමා බැදගන්න ,ඉන්පසු එයටම රවුමට කපාගත් ලූණූ දමා යන්තමින් බැදෙන විට ගම්මිරිස් මේස හැදි 1 කුරුදුපොතු කෑල්ලක් දමා කලවම් කරගෙන කුකුල්මස් ටික ඉස්ම එක්කම දමාගෙන කලවම් කර අමුමිරිස්, කරපිංචා, එනසාල් ,විනාකිරෙන් අඹරපු අබ එකතුකර රස අනුව ලුනු ස්වල්පයක් දමන්න.හරිම ලෙහෙසි හරිම රසයි .

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Monday, December 2, 2019

168. පොල් ටොපි සාදාගන්නා ආකාරය

පොල් ටොෆී හැදුවා ගොඩාක් රසට ආවා.ඔයාලත් හදලා බලන්න කො..


පොල් 1 kg
 සීනි 750 g 
බටර් 
කිරිපිටි මේස හැදි 1 
වැනිලා තේ හැදි 1 
ෆුඩ් කලරින් බින්දු දෙකක්

පොල් සීනි බ්ලෙන්ඩර් කරලා ලිපේ අඩු ගින්දරේ උයාගන්න.සීනි පොල් ටික වතුර වගේ එනකොට වැනිලා ටික ,ෆුඩ් කලරින් සහ බටර් තේ හැන්දක් දමාගෙන කිරිපිටි ටිකත් එකතු කරලා නොනවත්වා හැදි ගාමින් අතට තද ගතිය වෙනකල් උයා ගන්න.දැන් බටර් ගාපු තැටියකට පොල් ටික දාලා ඉක්මනින් තුනී කරගෙන කෑලි මාර්ක් කරලා නිව්නට පසුව කෑලි වෙන් කරගන්න.හරිම රසයි කලරින් අඩුවෙන් දා ගන්න එතකොට ලස්සන ලා කොලපාටට එනවා.හදලා බලලා රස කියන්නකො.😘😜👍

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Sunday, September 22, 2019

167. තැඹිලි වයින් ගෙදරදි පහසුවෙන් සාදාගන්නා ආකාරය

පහසුවෙන් තැඹිලි වයින් හදමුද? 
රෙසිපි එකත් එක්කම මෙන්න



උත්සව කාලෙට ගෙදරට එන අමුත්තන්ට වයින් වීදුරුවකින් සංග්‍රහ කරන්න තිබුණනම් හොඳයි නේද? වයින් කිවුවම එක එක ජාතියෙ වයින් වර්ග තියෙනවා. ගොඩක් සැර ඒවා සැර අඩු ඒවා. ඒ අතරින් ස්වභාවික තැඹිලි වලින් වයින් එකක් ගෙදරදීම බොහොම පහසුවෙන් හදාගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. දැන් අපි බලමු කොහොමද මේ තැඹිලි වයින් එක හදාගන්නේ කියලා.

මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය..
ගෙඩි 4ක තැඹිලි වතුර,
 සිනි – 750g, 
කැරමල් -250g, 
ඊස්ට් තේ හැඳි 1 ක්,
 දෙහි යුෂ තේ හැඳි 1 ක්, 
කරදමුංගු කරල් 4 ක්, 
කුරුදු පොතු ස්වල්පයක්,
 කරාබු නැටි ස්වල්පයක්.

මේ තියෙන්නේ හදන හැටි..
මදක් උණුසුම් වතුර කෝප්ප 1/2 කට ඊස්ට් සහ සිනි ස්වල්පයක් දමා හොඳින් දියකර ගන්න. පසුව එයට තැඹිලි වතුර සහ සිනි එක්කර හොඳින් කවලම් කරගන්න. දෙහි යුෂ සහ කරදමුංගු, කරාබු නැටි, කුරුඳු පොතුද එයට එක්කර මේ මිශ්‍රණය විදුරු බඳුනකට දමා එම භාජනයේ කට රෙදි කැබැල්ලකින් වසා දින 10ක් පමණ තබන්න. 11 වන දිනයේ රෙදි කැබැල්ල ඉවත් කර එය වෙන භාජනයකට පෙරා එයට කැරමල් කරගත් සීනි එකතු කර ගෙන තවත් දින 3ක් වසා තබා පිළිගන්වන්න


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, March 8, 2019

157.  රසම රස නාන් රොටී හදමු

රසම රස නාන් රොටී හදමු 

දැන් ඔයාලට මේ කියලා දෙන්න යන්නෙ ඉන්දියන් කෑමක් හදාගන්න විදිහ. නාන් හදාගන්න විදිහ! මීට කලිනුත් ඉවුම් පිහුම් ඇප් එකේ නාන් හදන විදිහ කියලා දීලා තියෙනවා තමයි. නමුත් ඒ ලිපිය ඇප් එක හදපු මුල් කාලේ දාපු එකක් නිසා ඒකෙ කරුණු මේ ලිපියේ තරම් විස්තර කරලා නෑ. නාන් ගැන කිව්වොත් නාන් ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ බහුලව කෑමට ගන්න, ඒ වගේම පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය වැනි ආසියානු රටවලත් කෑමට ගන්න ටිකක් ජනප්‍රිය ආහාරයක්. ඉතින් ඔයාලට මේ කියලා දෙන්න යන්නෙ නාන් ලේසියෙන්ම හදාගන්න පුලුවන් ක්‍රමයක්. බොහොම පහසුවෙන් හදාගන්න පුලුවන් මේ නාන් කුඩා දරුවන් ඇතුළු ඔබේ පවුලේ සියළු දෙනාට ආහාරයට ගන්න පුළුවන්. ඕනෑම ආකාරයක හොදි වර්ගයක් සමඟ යසට ගැලපෙන මේ නාන් රොටි, ඕනෑම මස් වර්ගයක, මුහුදු ආහාර වර්ගයක හෝ එළවළු වර්ගයක හොදි සමඟ ආහාරයට ගන්න පුළුවන්. දවල් ආහාරයෙන් ඉතිරි වූ හොදි ඇත්නම්, රාත්‍රී ආහාරයට නාන් පිළියෙල කරගෙන ඒ සමඟ ඉතා පහසුවෙන් රසවිඳින්න පුළුවන්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා. 

අවශ්‍ය දේවල්: (රොටී 6ක් හදන්න) 
*පාන් පිටි කප් 2 
*මුදවාපු කිරි හෝ යෝගට් කප් 1/2 
*මඳ උණුසුම් වතුර කප් 1/2
 *ඇක්ටිව් යීස්ට් පැකට් 1 (7g පමණ)
 *සීනි තේ හැඳි 1
 *ලුණු තේ හැඳි 1/2
 *තෙල් මේස හැඳි 1 (පොල් තෙල් හෝ එළවළු තෙල්)
 *නාන් පුළුස්සාගන්නා තැටියට තැවරීමට බටර් හෝ තෙල් ස්වල්පයක්. 

 සාදාගන්නා ආකාරය: 

Aමුලින්ම පිටි ටික අනාගමු (පැයකට කලින්), මුලින්ම කුඩා භාජනයකට සීනි දමා, එයට වතුර සහ යීස්ට් පැකට්ටුව දමන්න. ඊට පස්සෙ ඒ මිශ්‍රණය කලවම් කරලා පෙණ දමා යීස්ට් සක්‍රීය වන තෙක් විනාඩි 10ක් පැත්තකින් තිබෙන්න හරින්න. ඊට පස්සෙ තරමක් ලොකු භාජනයකට පිටි, ලුණු, තෙල් සහ යෝගට් දමාගන්න. දැන් සක්‍රීය වූ යීස්ට් මිශ්‍රණය ඒකට එකතු කරන්න ඕනෙ. ඊට පස්සෙ සුමුදු පිටි බෝලයක් ලැබෙන සේ විනාඩි කිහිපයක් හොඳින් මිශ්‍රණය අනාගන්න. දැන් අන්තිමට ප්ලාස්ටික් රැප් එකකින් හෝ තෙත රෙදි කඩකින් ආවරණය කර උණුසුම් ස්ථානයක පැයක් පමණ පිපෙන්න තබන්න. ඔන්න පිටි ටික හරි! දැන් එහෙනම් හදමු නාන් ටික, පැයක් ගියාට පස්සෙ, පිටි ස්වල්පයක් අතුරා ගත් මේසයක් මත පිටි බෝලය (ප්‍රමාණයෙන් වැඩිවී තිබිය යුතුයි) තබා එය දිගටි හැඩයකට සකසා ගන්න. ඊට පස්සෙ ඒක සමාන කොටස් 6 කට කඩාගන්න. ඊට පස්සෙ එම කොටස් කුඩා පිටි බෝල 6ක් වන සේ බෝල කරගන්න. දැන් ඒ බෝල එකිනෙක රෝලින් පින් එකක් භාවිතා කර රොටියක් වගේ තුනී කරගන්න ඕනෙ. හරි! දැන් බටර් හෝ තෙල් තැවරූ තැටියක් ලිපේ තියලා මධ්‍යම ප්‍රමාණයට රත් කරගන්න. දැන් කරන්න තියෙන්නෙ ඒ තැටියට නාන් රොටිය දාලා බුබුළු මතුවන තෙක් විනාඩි 2ක් පමණ එක් පැත්තක් පුළුස්සගෙන, ඊට පස්සෙ අනෙක් පැත්ත හරවලා තවත් විනාඩියක් පමණ හොඳින් පුළුස්සා ගන්න එක. මේ විදිහටම අනෙක් නාන් රොටි 5ත් පිළියෙල කරගන්න ඕනෙ. ඊට පස්සෙ හදාගත්ත නාන් රොටි මතට දියවුණු බටර් අතුරා, කොත්තමල්ලි කොළ වැනි යමක් උඩින් ඉස උණු උණුවේ ගෙදර අයට පිළිගන්වන්න ඔයාලට පුලුවන්. වැඩේ ඉවරයි! ඔච්චරයි! හදලා බලන්නකෝ එක පාරක්! මේවාගේ පෙනුමත් එක්ක හොද සුවඳකුත් තියෙන හින්දා දැක්කහම කටට කෙළ උනනවා. ඒ වගේම රසයි!  

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Tuesday, March 5, 2019

155. ඉතාලි ක්‍රමයට චීස් පැස්තා සාදාගන්නා ආකාරය

ඉතාලි ක්‍රමයට චීස් පැස්තා 

    පැස්තා ඉතාලියට ආවේණික වූ ආහාරයකි. රාත්‍රී ආහාරයට වගේම උදෑසන ආහාරයටත් සුදුසුයි. 

 අවශ්‍ය ද්‍රව්‍ය 

 තම්බාගත් පැස්තා ග්‍රෑම් 200 ක්
 ඉස්සෝ ග්‍රෑම් 200 ක්
 සුදුලූනු බික් 6 ක්
 තක්කාලි ගෙඩි 2 ක්
 බැසිල් කොළ ස්වල්පයක්
 ෆ්‍රෙෂ් ක්‍රීම් 
 අමු මිරිස් කරල් 3 ක් 
ඔලිව් තෙල් මේස හැඳි 4 ක් 
 තක්කාලි සෝස් මේස හැඳි 6 - 8 ක්
 ලොකුලූනු ගෙඩි 2 ක්
 ලුණු රස අනුව
 තක්කාලි ගෙඩියක්  

 සාදන ක්‍රමය 
 පෑන් එකක් ළිප තබා ඔලිව් තෙල් ස්වල්පයක් දමන්න. තෙල් රත් වූ විට සිහින්ව කපාගත් ලූනු එක් කර මද වේලාවක් තෙම්පරාදු කරන්න. එයටම සිහින්ව කපාගත් සුදුලූනු සහ අමුමිරිස් ද එක්කරන්න. එය තෙම්පරාදු වූ පසු ෆ්‍රෙෂ් ක්‍රීම් ද එයට එක්කර හොඳින් මිශ්‍රකරන්න. ඉන්පසු සුද්දකර, සෝදා ගත් ඉස්සන් එක්කර මද වේලාවක් තැම්බෙන්න හරින්න. එයට, කොටු හැඩයට කපාගත් තක්කාලි සහ තම්බාගත් පැස්තා එක්කර හොඳින් මිශ්‍රකරන්න. එයට ඔලිව් තෙල් මේස හැඳි 2 ක් එක්කර නැවත කලවම් කරන්න. අවසානයට ලුණු සහ ගම්මිරිස් දමා තක්කාලි සෝස් ද එක්කර හොඳින් මිශ්‍රකර දීසියකට දමාගන්න. බැසිල් කොළ උඩින් ඉස අලංකාර කරගන්න.   

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, March 1, 2019

153. අක්කාපාන කොල මැල්ලුම සාදාගන්නේ කෙසේ ද?

අක්කාපාන කොල මැල්ලුම සාදාගන්නේ කෙසේ ද?

අවශ්‍යය ද්‍රව්‍යය

අක්කපාන  කොල මිටක් ( තුන් දෙනෙක්ට)
ගා ගත් පොල් ටිකක්
රතු ලූනු හෝ ලොකු ලූනු
අමුමිරිස් කරල් 3
රස පමනට ලුණු
කහ කුඩු ස්වල්පයක්
එලවලු තෙල් හෝ පොල් තෙල් මේස හැදි 1 1/2
දෙහි යූෂ බිංදු කීපයක් 

සාදන විදිය.
අක්කපාන කොල  ටික සෝදා වතුර පෙරෙන්න තියල හීනියට කොල පොඩි නොවන සේ ලියා ගන්න.(කොල පොඩි උනොත් තිත්ත ගතියට එනව .ඒ නිසා .මම නම් කැමති තිත්ත රසට.ඒ නිසා අවුලක් නෑ.අවශ්‍යය කොල ටික හීනියට ලියා ගන්න ).ඉට පස්සෙ ඒකට පොල් ටිකයි හීනියට ලියාගත් අමුමිරිස් ලූනූ දාල ලුණුත් දාල කහ කුඩු ටිකත් දාල හොදට මික්ස් කරන්න.(මැල්ලුම අනා ගන්න ).දෙහි යුෂ බිංදු කීපයක් ද එක් කරන්න  පස්සෙ ඔයාල රස බලන්න.


අක්කපාන  මැල්ලුමත් එක්ක කෑමට සුදු බත් පරිප්පු මාළු මිරිසට පපඩමක් මිරිස් කරලක් බැදල ගත්තම බඩ පැලෙන්න කන්න පුළුවන් ඔන්න දෙයියනේ කියල 😂😂😂😂😂😂 ...

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, February 15, 2019

 151 ත්‍රිපෝෂා ගෙදරදී සාදාගන්නා ආකාරය hashi&ami

ලොකු පොඩි හැමෝම කන්න කැමති ත්‍රිපෝෂා ගෙදරදී නිවැරදිව හදාගන්න විදිය මෙන්න   


පොඩිකාලේ කාපු ත්‍රිපෝෂ රසය තාම අමතක කරන්න බැරි රසයක්. ලොකු පොඩි කවරුත් කැමති ඒ ත්‍රිපෝෂ රසයටම සමාන රසවත් අග්ගලා ගෙදරදීම හදාගන්න ආකාරය මේ ලිපියෙන් අපි අද ඔබට ගෙනාවා. කෑම කන්නේ නැති බර අඩු පොඩ්ඩන්ට ආසාවෙන් කන්න පුළුවන් අමතර ආහාරයක් විදිහටත් මේ අග්ගලා ගැලපෙනවා. මේ ගෙදර හදපු ත්‍රිපෝෂ, රසයෙනුත් ගුණයෙනුත් හරිම ඉහළයි. අමතක කරන්නේ නැතිව ඉක්මනින්ම හදලා බලන්න. හොදම දේ දරුවන්ටනේ.. ආදරේ වෙනුවෙන් මොනවද කරන්න බැරි ?එහෙම නේද ? මෙන්න මේ දේවල් අපට ඕනා වෙනවා
 මුං ඇට 
 කඩල 
 ඉරිගු 
 රටකජු 
 ආමන්ඩ් 
 සහල් ග්‍රෑම් 100 බැගින්

 මෙහෙමයි හදන්නේ සියලුම ධාන්‍ය හොදින් සෝදා අවුවේ වියලා ගන්න. වෙනම කබලේ බැදගන්න, සියුම්ව කුඩු කරගන්න. සියල්ල එකට මිශ්‍ර කරන්න . අවශ්‍ය පමණට, පොල්, සීනි, තිබේ නම් කිතුල් පැණි යොදා මිශ්‍ර කර ගුලි සාදා පිළිගන්වන්න. මීට අමතරව තල, සෝයා ඇට, ඇතුළු ධාන්‍ය වර්ගත් එකතු කරගන්න පුළුවන් කියලත් මතක තියාගන්න. (මේ ආහාර වට්ටෝරුව වයස අවුරුදු 1ට වැඩි දරුවන්ට වඩාත් සුදුසුයි). ගෙදර හැදුව ත්‍රිපෝෂ රස අග්ගලා හරිම රසයි. ඒක නම් නොකියාම බැහැ.  

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, April 6, 2018

150. කඩල කරියක් සාදාගන්නා ආකාරය

.හැමදාම කඩල තම්බල කෑව මිසක කාලෙකින් කඩල කරියක රස බැලුවෙ නැහැ නේද? ඒ නිසාම වෙනසකටත් එක්ක හැමදාම කන පරිප්පු වෙනුවට අද අපි කඩල කරියක රස බලමු. හදන්න නම් පොඩ්ඩක්වත් අමාරු නැහැ.

අවශ්‍ය ද්‍රව්‍ය
තම්බාගත් කඩල කෝප්ප 2ක්
ලොකු ළූණු ගෙඩි 1
උළුහාල් තේ හැඳි 1ක්
අමු මිරිස් කරල් 3ක්
බැදපු තුන පහ අකුඩු මේස හැඳි 1ක්
මිරිස් කුඩු මේස හැඳි 1ක්
කහ කුඩු ස්වල්පයක්
කරපිංචා ඉති 3ක්
මිටි කිරි කෝප්ප 2ක්
අබ ඇට මේස හැඳි 1ක්
තෙල් මේස හැඳි 2ක්
ලුණු

සාදා ගන්නා ආකාරය
මේ කරි එක හදා ගන්න මැටි හට්ටියක් තිබුනොතින්නම් හොදටම හොඳයි. එහෙම නැත්නම ඔයාට පහසු විදිහක් ‍තෝර ගන්න. මැටි හට්ටිය ලිපේ තියල ඒකට තෙල් එකතු කර ගන්න. එයටම සිහින්ව ලියාගත් අමුමිරිස්, ළූණු, අබ ඇට දමා තෙම්පරාදු කරගන්න. තරමක් තෙම්පරාදු වූ පසුව එයට බැදපු තුනපහ, මිරිස් කුඩු, කහ, කරපිංචා එකතුකර මිටි කිරිත් එයටම එකතුකරගන්න. හොඳින් හැඳිගා තම්බාගත් කඩලත් එයටම එකතුකරගන්න. ලුණුත් එකතු කරගන්න. කරිය නටන තුරු හොඳින් හැඳි ගා ලිප නිවන්න.

අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අපේ පේජ් එකට ලයික් එකක් දාලා මේ පොස්ට් එක ශෙයා කරන්න. ඔයාලා ගාවත් මේ වගේ රසම රස රෙසිපි තියෙනවා නම් අපිට එවන්න. ඔබේ නමින්ම ඒවා අපේ පිටුවේ පල කරන්නම්. ඔබට සුබ දවසක් !!!

Amila & Hashi

Saturday, March 31, 2018

149. කතුරු මුරුංගා කෑවොත් ඔබට සිදුවෙනදේ ….. srilanka food cooking srilanka


කතුරු මුරුංගා කෑවොත් ඔබට සිදුවෙනදේ …..





සමකයට ආසන්න අපේ රටේ පවතින්නේ උෂ්ණ දේශගුණයක්. ඒ දේශගුනයේ පවතින උෂ්ණාධික කම තව තවත් ශරීරයට වැඩියෙන් දනවන, එනමුදු දිව පිනවන ආහාර රටාවකට අපේ අත්තම්මලා පුරුදු වී සිටියා. උදාහරණයකට ගතහොත් බලමාලු, දෙල්, මුරුංගා, ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල් ආහාරයට ගන්නට එදා ඔවුන් අද සේ පැකිලුනේ නැහැ. ඊට හේතුව එම අහාර වල උෂ්ණාධික බව මකා දැමිය හැකි, එමෙන්ම ඒ අහාර වල රසය තවත් වැඩි කරවන ආයුර්වේද ගුණ ඇති එළවලු හෝ පලා වර්ග ආහාරයට එක් කිරීමෙන් එම ආහාර වල උෂ්ණාධික බව නසා දමා ඒවායේ තිබු පෝෂණ ගුණය පමණක් ශරීරයට ඇතුලුකිරිමට ඔවුන්ට තිබු මහගු හැකියාවයි. උෂ්ණ යයි කියවෙන ආහාර වර්ගයක් මුළුතැන් ගෙයි පිසෙන දවසක නොවරදවා බත් පිගානේ දකින්නට තිබු ‘කතුරුමුරුන්ගා’ ව්යංජනය ගැනයි මේ කියන්නට යන්නේ.
කතුරු මුරුංගා තරම් වේගයෙන් මුඛ තුවාල සුව කරන ඖෂධයක් මා නම් මේ වනතුරු දැක නැහැ. දිවේ, විදුරු මසේ හෝ තල්ලේ උෂ්ණාධික බව නිසා ඇතිවන කුඩා ගෙඩි හෝ තුවාල ඉතාමත් වේදනාකාරියි. අත්තම්මගේ මේ රෝගයට ඇති පිළියම වහාම කතුරු මුරුංගා කොළ අහුරක් ඊළඟ ආහාරයට සම්බෝලයක්, මැල්ලුමක්, කිරි හොද්දක් හෝ බැදුමක් ලෙස එක් කිරිමයි. කුමන විධියට පිළියෙළ කලත් කතුරුමුරුන්ගා වල ඇත්තේ ඉතා අපුරු රසයකි. පොල් අහුරක්, රතු ලුණු, උම්බලකඩ සහ දෙහි දමා ගන්නා සම්බෝලය මගේ අත් දැකීමට අනුව ලිපේ තබා උයා ගන්නා ව්යංජන ආකාරයට වඩා ඉතා ඉක්මන් ප්රතිපල ගෙන දෙනවා. හාල් මැස්සන් කීපදෙනෙකුද එක්කර සාදා ගන්න බැදුම හෝ කිරි හොද්ද පොඩිවුන්ට කවා ගන්නට පහසු වන්නේ පිසූ පසු එහි ඇති ‘සුන්දර තිත්ත’ යම් පමණකින් අඩු වන නිසාවෙනි.
කතුරු මුරුංගා දකුණු ආසියාවේ බොහෝ රටවල සහ ඕස්ට්රේලියාවේ ඇතැම් පලාත්වල වැවෙන ශාකයක්. කැල්සියම් සහ යකඩ බහුල ශාක පත්ර අස්ථි ශක්තිමත් කිරීමටත්, නිරක්තිය අඩු කිරීමටත් උදව් වෙනවා. පිළියෙළ කිරීමේදී නිවුණු පසු දෙහි යුෂ එකතු කිරීමෙන් මේ කොළ වල ඇති යකඩ ශරීරයට අවශෝෂ කර ගැනීම පහසු වෙනවා.
කතුරු මුරුංග වල ඇති විෂනැසීමේ හැකියාව (ඇන්ටි හිස්ටමින්) නිසා තමයි අත්තම්මා හිස්ටමින් බහුල දෙල්, බල මාළු වැනි දේ පිළියෙළ කරන විට ඒ අහාරය සම බර කර ගැනීමට කතුරු මුරුංගා එක් කලේ. කතුරු මුරුංගා ශරීරය සිසිල් කරවනවා පමණක් නොවෙයි, වැඩිපුර ඇති දියර ශරීරයෙන් ඉවත් කරන (ඩයියුරෙටික්) අතරම මුත්රා අසාධන අඩු කිරමට සමත් වෙනවා. මල බද්ධයටත් මෙය කදිම පිලියමක්. සමේ තෙතමනය පවත්වා සම වියලීම නිසා හෝ රුධිර විෂ වීමෙන් සෑදෙන එක්සිමා තත්ත්ව වලක්වා ගැනීමටත්, එම රෝග සැදුනු අයට ඉක්මනින් සුවවීම සහ කැසීම අඩු කර ගැනීමටත් කතුරු මුරුංගා උදව් කර ගත හැකියි.
කතුරුමුරුංගා මල් කාලයට ගස එකවරම සුදු පලසකින් වැසි ගියා සේ මල් හට ගන්නවා. මේ මල් තවත් රසවත් ව්යංජනයක් ලෙස ආත්තම්මා සකස් කර ගත් හැටි මට අදටත් මතකයි. එහි ඇති දිරවීමේ පහසුව නිසා අවුරුද්දට අඩු අලුතෙන් ඝන ආහාර ගන්නා ළදරුවන්ට රතුළුණු සහ පොල්කිරි ස්වල්පයක් එක්කර මිරිස් නොදමා පිස දීම අපි කුඩා කාලේ අපේ අම්මලා සිදුකල දෙයක්. කතුරුමුරුංග මල් උම්බලකඩ සමග තෙල් දැමීමෙන් රජ බොජුනකටත් වඩා රසවත් බත් කන්දක් ගිල දැමිය හැකි ව්යංජනයක් සාදා ගත හැකියි.
කතුරු මුරුංගා මල් වලත් බොහෝ ආයුර්වේද ගුණ තිබෙනවා. බැක්ටීරියා සහ වෛරස වලට විරුද්ධ ප්රතිජීවක සහිත කතුරු මුරුංගා මල් ආහාරයට ගැනීමෙන් හිසේ රුදාව, පිනසය, කැස්ස සහ උන රෝග වලින් වැලකි සිටීමට හෝ වැළඳුනු පසු පහසුව ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා.
අත්තම්මා නමැති නිවසේ සිටි වේද හාමිනේගේ ‘රස පිරි -දිව ඔසු’ අද පරම්පරාවට අමතක වීගෙන යාම ගැන හදවතට දැනෙන්නේ ඉතාම සංවේගයක්. කොත්තු සහ ෆ්රයිඩ් රයිස් සංස්කෘතියේ අතර මන් වී දියවැඩියාව කරා කෙමෙන් ලං වෙන නුතන පරපුරේ එක අයෙක් හෝ මේ ලිපි පෙලින් ප්රයෝජනයක් ගනිවායි පතමින් අදට නවතිමි. නැවත හමුවන තුරු ඔබ සැමට ආයු බෝ වේවා.
රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට (උපුටගැනිමක්)

148. කිරි ටොෆී සාදාගන්නා ආකාරය

 තේ බොන්න අද අපි කිරි ටො‍ෆි හදමු. ඔයත් හදලම බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය
පොඩි කිරි ටින් 1ක්
වතුර කෝප්ප1ක්
සීනි 400g
බටර් මේස හැඳි 1ක්
වැනිලා ස්වල්පයක්
කරදමුංගු ඇට 4ක්

සාදා ගන්නා ආකාරය
බඳුනක් ගෙන එයට සීනි සහ වතුර දමා උණුකරගන්න. එය උණුවන විට ගින්දර අඩු කර ටින් කිරි වක්කරන්න. ඉන්පසු මිශ්‍රණය ඝන වෙන තෙක් හැඳි ගාන්න. ලිපෙන් බෑමට ලංවන විට බටර් සහ කරදමුංගු එක්කරන්න. බටර් ගාගත් තැටියක හෝ පිටි ටිකක් අතුරාගත් ලෑල්ලක තුනීකර කෑලි කපා ගන්න.

අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අපේ පේජ් එකට ලයික් එකක් දාලා මේ පොස්ට් එක ශෙයා කරන්න. ඔයාලා ගාවත් මේ වගේ රසම රස රෙසිපි තියෙනවා නම් අපිට එවන්න. ඔබේ නමින්ම ඒවා අපේ පිටුවේ පල කරන්නම්. ඔබට සුබ දවසක් !!!

Ami & Hashi

Friday, March 30, 2018

147. කැරට් සමග පැස්ටා සාදාගන්නා ආකාරය srilankan cooking

කැරට් සමග පැස්ථා සාදාගන්නා ආකාරය



 ඔබව සාදරයෙන් පිළිගන්නවා. හැමදාම බත් කාලම එපා වෙලානම් වෙනසකටත් එක්ක අපි වෙනස් දෙයක් කමු. මොනවද අද අපි හදන්නෙ? අපි අද පැස්ටා හදමු. හැබැයි ටිකක් වෙනස් විදිහකට. ඔයා හැමදාම හදනවට වඩා නම් රස වැඩියි. උදේකට වගේම රාත්‍රියටත් හොදයි. ගෙදර පොඩ්ඩො ඉන්නවනම් ඒ අයත් ගොඩක් කැමති වෙයි. මෙන්න මෙහෙමයි හදන්නෙ.

අවශ්‍ය ද්‍රව්‍ය
පැස්ටා 250g
ඉඟුරු
සුදු ළූණු
සිහින්ව කපාගත් කැරට් කුඩා අලයක්
බටර් හෝ මාගරින් 
උකු පිටි කිරි කෝප්ප 1/4ක්
ගම්මිරිස් ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය
මුලින්ම සාස්පානකට වතුර දාල ඒකට බටර් සහ ලුනු ටිකක් එකතු කර ගන්න. එයටම පැස්ටා ටික දමා භාජනය ලිප තබා හොඳින් තම්බා ගන්න. පැස්ටා ටික තැම්බෙන අතරෙ ඉඟුරු සුදු ළූණු හොඳින් කුඩාවටම ලියා ගන්න. [චොප් කර ගන්න]. පැස්ටා එක තැම්බිලද බලල ලිපෙන් බා ගන්න. පැස්ටා වල වතුර ටික බේරා දමන්න. දැන් ආයෙත් සාස්පානක් ලිපේ තියල ඒකට බටර් හෝ මාගරින් එකතුකරගන්න, චොප් කරගත් ඉඉඟුරු සුදු ළූණු එකතුකර රන්වන් පාට වනතුරු බැද ගන්න. ඉන්පසු එයට කැරට් එකතු කරගන්න. මෙතනදී ඔයා කැමතිනම් ලීක්ස්, ගෝවා, බෝංචි වගේ ඔයා කැමති එළවළු එකතු කරගන්න පුළුවන්. ලුණු රස අනුව දමාගන්න. එලවළු තෙම්පරාදු වී ගෙන එනකොට එයට පැස්ටා ටික එකතු කරගන්න. ගම්මිරිස් ද එකතු කර හොඳින් කලවම් කරගන්න. ඉන්පසු කිරි කෝප්ප 1/4 එකතු කර හොඳින් කලවම් කර විනාඩි 2කට පමණ පසුව ලිපෙන් බා ගන්න. ඔයත් හදල බලන්න.ඉක්මනටම හදා ගන්නත් පුළුවන්. හදල බලල මටත් රස කියන්න.

අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අපේ පේජ් එකට ලයික් එකක් දාලා මේ පොස්ට් එක ශෙයා කරන්න. ඔයාලා ගාවත් මේ වගේ රසම රස රෙසිපි තියෙනවා නම් අපිට එවන්න. ඔබේ නමින්ම ඒවා අපේ පිටුවේ පල කරන්නම්. ඔබට සුබ දවසක් !!!

Ami & Hshi

146 .මුකුණුවැන්නා බිත්තර සමග තෙම්පරාදුව සාදාගන්නා ආකාරය 

මුකුණුවැන්නා බිත්තර සමග තෙම්පරාදුව සාදාගන්නා ආකාරය 



අවශ්‍ය ද්‍රව්‍ය
සිහිව ලියාගත් මුගුණුවැන්නා මිටියක්
තෙල් මේස හැඳි 2ක්
මිරිස් කෑලි තේ හැඳි 1 1/2ක්
ගම්මිරිස් තේ හැඳි 1/4ක්
ලියාගත් ළූණු ගෙඩි 1ක්
කපා ගත් අමු මිරිස් කරල් 2ක්
බිත්තර 1ක්

සාදා ගන්නා ආකාරය
සාස්පානකට තෙල් දමා ලිප තියන්න. එයට ලියාගත් ළූණු සහ අමුමිරිස් එක්කරන්න. තෙම්පරාදු වූ පසු එයට මුගුණුවැන්නා, මිරිස් කෑලි ගම්මිරිස් සහ ලුනු දමා හොඳින් කලවම් කර ගන්න. ටික වේලවක් පිසෙන්නට හරින්න. කොල ටික යන්තමට මැලවීහෙන එනවිට එයට ගසා ගත් බිත්තරය එකතු කර ගන්න. බිත්තරයේ දියර ගතිය නැතිවන තුරු හොඳින් කලවම් කරන්න. ඉන්පසු ලිප නිවා කෑම මේසයට පිළිගන්වන්න.

අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අපේ පේජ් එකට ලයික් එකක් දාලා මේ පොස්ට් එක ශෙයා කරන්න. ඔයාලා ගාවත් මේ වගේ රසම රස රෙසිපි තියෙනවා නම් අපිට එවන්න. ඔබේ නමින්ම ඒවා අපේ පිටුවේ පල කරන්නම්. ඔබට සුබ දවසක් !!!

Ami & Hashi

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...