Friday, March 8, 2019

157.  රසම රස නාන් රොටී හදමු

රසම රස නාන් රොටී හදමු 

දැන් ඔයාලට මේ කියලා දෙන්න යන්නෙ ඉන්දියන් කෑමක් හදාගන්න විදිහ. නාන් හදාගන්න විදිහ! මීට කලිනුත් ඉවුම් පිහුම් ඇප් එකේ නාන් හදන විදිහ කියලා දීලා තියෙනවා තමයි. නමුත් ඒ ලිපිය ඇප් එක හදපු මුල් කාලේ දාපු එකක් නිසා ඒකෙ කරුණු මේ ලිපියේ තරම් විස්තර කරලා නෑ. නාන් ගැන කිව්වොත් නාන් ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ බහුලව කෑමට ගන්න, ඒ වගේම පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය වැනි ආසියානු රටවලත් කෑමට ගන්න ටිකක් ජනප්‍රිය ආහාරයක්. ඉතින් ඔයාලට මේ කියලා දෙන්න යන්නෙ නාන් ලේසියෙන්ම හදාගන්න පුලුවන් ක්‍රමයක්. බොහොම පහසුවෙන් හදාගන්න පුලුවන් මේ නාන් කුඩා දරුවන් ඇතුළු ඔබේ පවුලේ සියළු දෙනාට ආහාරයට ගන්න පුළුවන්. ඕනෑම ආකාරයක හොදි වර්ගයක් සමඟ යසට ගැලපෙන මේ නාන් රොටි, ඕනෑම මස් වර්ගයක, මුහුදු ආහාර වර්ගයක හෝ එළවළු වර්ගයක හොදි සමඟ ආහාරයට ගන්න පුළුවන්. දවල් ආහාරයෙන් ඉතිරි වූ හොදි ඇත්නම්, රාත්‍රී ආහාරයට නාන් පිළියෙල කරගෙන ඒ සමඟ ඉතා පහසුවෙන් රසවිඳින්න පුළුවන්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා. 

අවශ්‍ය දේවල්: (රොටී 6ක් හදන්න) 
*පාන් පිටි කප් 2 
*මුදවාපු කිරි හෝ යෝගට් කප් 1/2 
*මඳ උණුසුම් වතුර කප් 1/2
 *ඇක්ටිව් යීස්ට් පැකට් 1 (7g පමණ)
 *සීනි තේ හැඳි 1
 *ලුණු තේ හැඳි 1/2
 *තෙල් මේස හැඳි 1 (පොල් තෙල් හෝ එළවළු තෙල්)
 *නාන් පුළුස්සාගන්නා තැටියට තැවරීමට බටර් හෝ තෙල් ස්වල්පයක්. 

 සාදාගන්නා ආකාරය: 

Aමුලින්ම පිටි ටික අනාගමු (පැයකට කලින්), මුලින්ම කුඩා භාජනයකට සීනි දමා, එයට වතුර සහ යීස්ට් පැකට්ටුව දමන්න. ඊට පස්සෙ ඒ මිශ්‍රණය කලවම් කරලා පෙණ දමා යීස්ට් සක්‍රීය වන තෙක් විනාඩි 10ක් පැත්තකින් තිබෙන්න හරින්න. ඊට පස්සෙ තරමක් ලොකු භාජනයකට පිටි, ලුණු, තෙල් සහ යෝගට් දමාගන්න. දැන් සක්‍රීය වූ යීස්ට් මිශ්‍රණය ඒකට එකතු කරන්න ඕනෙ. ඊට පස්සෙ සුමුදු පිටි බෝලයක් ලැබෙන සේ විනාඩි කිහිපයක් හොඳින් මිශ්‍රණය අනාගන්න. දැන් අන්තිමට ප්ලාස්ටික් රැප් එකකින් හෝ තෙත රෙදි කඩකින් ආවරණය කර උණුසුම් ස්ථානයක පැයක් පමණ පිපෙන්න තබන්න. ඔන්න පිටි ටික හරි! දැන් එහෙනම් හදමු නාන් ටික, පැයක් ගියාට පස්සෙ, පිටි ස්වල්පයක් අතුරා ගත් මේසයක් මත පිටි බෝලය (ප්‍රමාණයෙන් වැඩිවී තිබිය යුතුයි) තබා එය දිගටි හැඩයකට සකසා ගන්න. ඊට පස්සෙ ඒක සමාන කොටස් 6 කට කඩාගන්න. ඊට පස්සෙ එම කොටස් කුඩා පිටි බෝල 6ක් වන සේ බෝල කරගන්න. දැන් ඒ බෝල එකිනෙක රෝලින් පින් එකක් භාවිතා කර රොටියක් වගේ තුනී කරගන්න ඕනෙ. හරි! දැන් බටර් හෝ තෙල් තැවරූ තැටියක් ලිපේ තියලා මධ්‍යම ප්‍රමාණයට රත් කරගන්න. දැන් කරන්න තියෙන්නෙ ඒ තැටියට නාන් රොටිය දාලා බුබුළු මතුවන තෙක් විනාඩි 2ක් පමණ එක් පැත්තක් පුළුස්සගෙන, ඊට පස්සෙ අනෙක් පැත්ත හරවලා තවත් විනාඩියක් පමණ හොඳින් පුළුස්සා ගන්න එක. මේ විදිහටම අනෙක් නාන් රොටි 5ත් පිළියෙල කරගන්න ඕනෙ. ඊට පස්සෙ හදාගත්ත නාන් රොටි මතට දියවුණු බටර් අතුරා, කොත්තමල්ලි කොළ වැනි යමක් උඩින් ඉස උණු උණුවේ ගෙදර අයට පිළිගන්වන්න ඔයාලට පුලුවන්. වැඩේ ඉවරයි! ඔච්චරයි! හදලා බලන්නකෝ එක පාරක්! මේවාගේ පෙනුමත් එක්ක හොද සුවඳකුත් තියෙන හින්දා දැක්කහම කටට කෙළ උනනවා. ඒ වගේම රසයි!  

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

228. කැකිරි මස් වගේ රසට උයමු

කැකිරි මස් වගේ රසට උයමු  අවශ්‍ය ද්‍රව්‍ය-  කැකිරි ග්‍රෑම් 350 පොල් කිරි කෝප්ප 1/1 මිරිස් කුඩු මේස හැදි 1  බැදපු තුනපහ කුඩු මේස හැදි 1  ගම්මි...