Tuesday, November 15, 2022

201. ගමේ කුකුල් මස් හොද්දක් සාදාගන්නා ආකාරය

 🍲 ගමේ කුකුල් මස් හොද්ද 🍲



ඉතා ඉක්මන් රස කරියක්....


අවශ්‍ය ද්‍රව්‍ය: 


🍗 තරමක් ලොකුවට කැබලි කපාගත් සම්පූර්ණ කුකුලෙක් (කිලෝ එකක පමණ) 

🍗 එකට දමා තලාගත් සුදුලූනු බික් 3ක් සහ පොඩි ඉඟුරු කැබැල්ලක් 

🍗 ලියාගත් බී ලූණු ගෙඩියක්

🍗 තලාගත් සේර බඩයක් 

🍗 තලාගත් කුරුඳු  අඟලක කැබැල්ලක් 

🍗 තක්කාලි ගෙඩි 2ක් 

🍗 තලාගත් කරදමුංගු 5ක් හා කරාබු නැටි 5ක්

🍗 කබලේ විනාඩි 2ක් පමණ බැද කුඩුකරගත් සූදුරු තේ හැඳි එකක් 

🍗 එකට දමා කබලේ තරමක් බැදගත් මිරිස් කුඩු තේ හැඳි 3ක් සහ බැදපු පහේ කුඩු තේ හැඳි 2ක් 

 🍗පොල් කිරි කෝප්පයක් 

🍗 ගොරකා කැබලි 4ක් 

🍗 උළුහාල් තේ හැඳි 1ක් 

🍗 ගම්මිරිස් තේ හැඳි 1ක් 

🍗 අවශ්‍ය පමණට ලුණු 

🍗 කරපිංචා අහුරක්  

🍗 රම්පෙ කැබැල්ලක් 

🍗 පොල් තෙල් මේස හැඳි 3ක් 


සාදන ක්‍රමය:


කුකුල් මස් කපා එයට ගම්මිරිස් තේ හැඳි භාගයක්, ලුණු කුඩු තේ හැඳි භාගයක්, විනාකිරි තේ හැඳි එකක් දමා පැය භාගයක් පමණ තබන්න.


දැන් මැටි ඇතිලියක් ගෙන එයට පොල් තෙල් දමන්න. තෙල් රත් වෙද්දි එයට කරදමුංගු, කරාඹුනැටි, කුරුඳුපොතු, සේර, රම්පෙ, කරපිංචා හා උළුහාල් දමා විනාඩියක් තෙම්පරාදු කරන්න. 


දැන් ලියාගත් ළූණු ටික දමන්න. රන්වන් පාටට බැදගන්න. පසුව එයට ඉඟුරු, සූදුළුෑනූ දමා තවත් විනාඩියක් තෙම්පරාදු කරන්න. 


දැන් සීසන් කළ කුකුල් මස් ටික දමා විනාඩි 5ක් පමණ තෙලෙන් හොඳට බදින්න. දැන් මේ බැදගත් කුකුළු මස් උඩට මිරිස් කුඩු, බැදපු පහේ කුඩු, සූදුරු කුඩු, ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු දමා තවත් විනාඩි 2ක් හොඳට තෙම්පරාදු කරන්න. 


දැන් කපා ගත් තක්කාලි ටික දමන්න. තක්කාලි ටික මෘදු වූ පසු වතුර කෝප්පයක් ගොරකා සමග දමන්න. හොඳින් උතුරවන්න. හොද්ද සිඳී ගෙන  එද්දි එයට පොල් කිරි දමා එක්වරක් උතුරුවා පසුව ලිපේ දැල්ල අඩු කර විනාඩි 10ක් පිස ලිපෙන් බාගන්න.


                   රස මතක තියෙන 

                            තැන...

                   Meals & Memories 👩‍🍳

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

242. මාළු මිරිසට සාදාගන්නා ආකාරය

මාළු මිරිසට හදමු... 🎋අවශ්‍ය ද්‍රව්‍ය :- 🧩කෙලවල්ලා මාළු 300g(කැමති මාළු වර්ගයක් ගන්න ) 🧩මිරිස් කුඩු මේස හැදි එකහමාරක්  🧩ගම්මිරිස් කුඩු තේ...