Saturday, September 19, 2015

23. මං කලින් ලිපියෙන් කිව්වනේ මෙදා වංගියේ මං හරකෙක් උන ඒ කොරමේ කියා දෙනවා කියලා...

මං කලින් ලිපියෙන් කිව්වනේ මෙදා වංගියේ මං හරකෙක් උන ඒ 
කොරමේ කියා දෙනවා කියලා...


ඉතිං ඒ දවස්වල ඒ කිව්වේ මං හිච්චි එකා සංදියේ මෙහෙම නැහැ මං හොඳට හිටියා...ඒත් දැන්නං සමහරුන්ට හිතා ගන්ටත් බැහැ එහෙම හිටිය මට මෙහෙම උනේ කොහොමද කියලා..ඒ වගේ වැඩනේ මං කොරන තරමක් කොරන්නේ...මටනං ඕවා හෙන ලොකු වැඩ වගේ පෙනුනට සමහරු නං ඒවාට කියන්නේ ගොං වැඩ කියලා..


ඇත්තම කියන්ට සමහරක් වෙලාවට මටත් එහෙම නොහිතෙනවාම නෙවෙයි..ඒත් ඉතිං අපි කවද්ද අපේ අඩු පාඩු අනිත් උන්ට පෙන්නන්ට ගියේ..එහෙම නැහැ වගේ සද්දේ දාගෙන ඉන්නවා ඇර..මං විතරක් නෙවෙයි ඉතිං හුගාක් අය එහෙම තමා..ඕනනං ඉතිං "අපෝ අපි එහෙම නැහැ..අපි යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී.." හෙන පොරවල් කියන්ට..කරුමෙට වගේ මට එහෙම කියන්ට බැහැ..මොකද මං දන්නවනේ මගේ වැඩ ගැන හොඳටම..ඒකෙන්ම තේරෙනවනේ මගේ ගොන් ගතිය නොහොත් හරක් ගතිය...හැබැයි මම මෙහෙම කිව්වම සමහරු කියයිද මංදා "හරක්ට අපහාස කොරන්ට එපා යකෝ" කියලා..එහෙම කිව්වත් ඉතිං හරකා කවද්ද හරක් වැඩ අතෑරියේ..


ඉතිං ඒ කතාවත් මං මෙහෙමම කියලා දාන්නං...


මුගුණුවැන්න මැල්ලුම...

ඔහේලා දන්නවනේ මේ වෙනකොට අපේ තාත්තා අපිට පොඩි කාලේ මොන මොනවද කන්ට බොන්ට දුන්නේ කියලා..ඒ කිව්වේ එළවළු වෑංජන ආදිය ගැන...ඔව් ඔව් අර කලින් කිව්ව කජු..පොලොස්..වට්ටක්කා එහෙම ගැන තමා..


ඉතිං ඔය හැම දේමත් අතරේ හැමදාමත් වගේ අපේ තාත්තා ගෙදර මොනවා නමුත් කොල වර්ගයක් නිතරම හදන්න පුරුදු වෙලා හිටියා... පහල ඕවිටිවල ඕන තරං වැල් ගොටුකොල තිබුනා... වෙල අයිනේ..ඇළ අයිනේ මුගුණුවැන්න..දිය හබරල...තණපලා ඕන තරං හොයා ගන්ට තිබුනා...

වත්ත පහල කොහිල වලක් වගේම එක පැත්තක ගිරා පලා සරුවට වැවිලා තිබුනා..

ගේ ඉස්සරහ එරබොදු ගහක් තිබුනා..ළිඳ ගාව තෙබු ගස් ටික..වත්ත කොනේ කර ගහක්...එතකොට කවදාවත් ලොකු නොවුනත් සැරින් සැරේට හිටවපු කතුරුමුරුංගා ගස් වගයක්...වැට දිගට කිරි මදු වැල්... ගේ පිටි පස්සේ කඩුපහර..මොනර කුඩුම්බිය..ජපන් බටු...ගේ ඉස්සරහා වැට දිගේ ෆැෂන් ෆෘට් වැල ඕසේට වැවිලා තිබුනා...ඒ අස්සේම කෝප්ප කොල ගස් ටිකකුත් තිබුනා..ඉතිං කොළවලින් මොන අඩුවක්ද... හැබැයි කංකුං එහෙමනං අපේ වත්තේ ඒ හැටි හරි ගියේ නැහැ..මං ඒ දවස්වල කංකුංවලට අකමැති හින්ද ඒකත් මටනං ලොකු අවුලක් උනේ නැහැ.



වැල් කොහිල...


ජපන් බටු...


වට්ටක්කා...


නිවිතියා...


මඤ්ඤොක්කා කොල...


සාරණ...


කතුරු මුරුංගා...


දඹළ කොල...

ෆැෂන් කොල...

තෙබු...

කර කොල...


කර කොලඔය දිය හබල..තණපලා..ගිරා පලා..වගේ ජාතිවලට පරිප්පු දාලා හින්දවලා උයලා තෙම්පරාදු කර ගත්තමත් හරි අපූරුයි..ඒ වගේම මැල්ලුමට සම්බෝලෙට උනත් හුගාක් ගැලපෙනවා...අළුත කඩා ගත්ත තණපලාවල..ගිරා පලාවල පුදුම කිරි රසක් තියෙනවා..ඒක අමු කොල සම්බල වලට හොදටම හොදයි..ඒත් ඉතිං හුග වෙලාවට බඩේ අමාරු හැදෙයි වගේ කියලා හිතුනොත් තාත්තා ඕවා අමුවෙන්ම දෙන්නේ නැතිව මලවලාම දෙනවා...


අමු කොල සම්බොලෙට ඔය හුගාක් ජාති ගතෑකි...

ගොටු කොළ..

මුගුණුවැන්න දළු..

ෆැෂන් කොල...

තණපලා..

ගිරා පලා...

කර කොල...

ඔවා සම්බෝලේට එහෙමත් නැත්තං අමුවෙන්ම හදලා තමා හුගාක් රස...ඒ කිව්වේ හොඳ ළපටි පහේ කොලවලින් අරගෙන.. හොදට හෝදලා..ලියලා..ඒකට ගාගත්ත පොල්..අමුමිරිස්..රතුළුණූ..ලුනු..දෙහි ඇඹුල්..තව ඉතිං උම්බලකඩ ටිකක් හෙම දාලා ගත්තම හොඳටම හොඳයි..සමහර වෙලාවට ගම්මිරිස් කුඩු ඇබින්දක් එකතු කලත් රසයේ ලොකු වෙනසක් ගන්න පුළුවන්...


අමුවෙන් හදන කොල සම්බෝල බොහොම රසයි වගේම ගුණයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. හුගාක් අය අමු කොල සම්බෝල වලින් කැමතිම ගොටු කොල සම්බෝලෙට තමා..මං උනත් ඒකට හුගක් කැමතියි..ඒත් මං වැඩියම ආසා "කර" කොල සම්බොලේට...මට කර කොල ටිකක් පෙන්නන්ට පින්තූරයක්නං දාන්නට අද ඇහැක් වෙන එකක් නැහැ..මොකද ඒකට පොටෝවක් ගන්ටනං මට ගෙදර යන්ට ඕන..තාමත් අපේ වත්තේ තිබුන අර පරන කර ගහ පරිස්සං වෙලා තියෙනවා..අපේ මලයගේ පොඩි කොළුනං තාමත් අපි පුංචිකාලේ වගේම වාසනාවන්තයි අපි කාපු බීපු විදියටම කොල ජාති කන්ටනං...


මං පස්සේ වංගියක හරි ගෙවල් පැත්තේ ගියොත් පින්තූරයක් අරගෙන එන්නං කට්ටියට බලා ගන්ට එක්ක..දැනට මේ දාලා තියෙන පින්තූර වලින් ඔය චූටියට දාලා තියෙන තෙබු කොල ටික ඇර අනිත් ඔක්කෝම මගේ දුරකථනයේ කැමරාවෙන් මංම ගත්තු පොටෝ තමයි... තෙබු ගහක් හරියට පොටෝ ගහන් එන්ට ගෙදර හරි..පුංචි අම්මලගේ දිහාවේ හරි ගිය වෙලාවක බැරියෑ...


ඒ කලින් කිව්වේ කොල සම්බෝල ගැනනේ..ඊ ළගට මැල්ලුං..ඔය කියාපු හැම දේම වගේ මලවලා කන්ට ඇහැකි දේවල් තමා... දැන්නං නගර බද අයට හුගාක් අහු වෙන්නේ කංකුං හරි මුගුණුවැන්න හරි විතරමද මංදා..ඒත් අපේ ගං පළාත්වල ගහට කොලට හැදෙන හුගාක් කොල ජාති මලවලා කන්ට ඇහැකි..වගේම අපේ තාත්තණ්ඩියා ඒවා මලවලා ඇති පදමට අපිට කන්ට දුන්නා...හැබැයි අපේ මලයටනං මැල්ලුං පේන්ට බැහැ..ඒකාට මැල්ලුං කවන්ට ඌත් එක්ක පොර අල්ලන්ට ඕන..ඒත් මටනං බත්වලට වඩා මැල්ලුං ඕන...කොටින්ම හරකෙක් වගේ මැල්ලුං කෑවා..බත් පොල් කටු හැදි දෙහෙකට ඒ වගේම කොල මැල්ලුං උඩින් දාලා වහලා..ඒක උඩින් හොඳට කරවල හොදි ටිකක් වක්කර ගත්තත් මටනං ඇති...


ඒ වගේම තමා ඔය දෙල් මාළුවට..කිරි කොස් මාළුවට..වට්ටක්කා මාළුවට කජු මාළුවට වගේ හිදෙන්න සහ බත් ටික ගුලි කරලා කන්න ඇහැකි වෑංජන වලට හොඳ කොල මැල්ලුමක් කලවං උනහම හරිම රසයි...පරිප්පු එක්ක උනත් කොල මැල්ලුං හරි රසයි නෙව.


ඔය මැල්ලුං කිව්වමනං මම වඩාත්ම ආසා කලවං පලා මැල්ලුමට තමා... අහල පහළින් අහුවෙන කොල ජාති කිහිපයක් එක්කාසු කොරගෙන හොදට ලියලා පොල් ටිකක්..අමුමිරිස් කරලක්..රතුළුණු ටිකක්..සුදුළුණු බිකක්..කහ කුඩු ඇබින්දක් වගේ..මිරිස් කුඩු පහේ කුඩුයි යන්තමට වගේ..කුරුඳු පොතු කෑල්ලකුත් දැම්මාම හෙඳ සුවඳක් තියේ..ලුනු කුඩු ටිකක් එහෙම එක්ක හොඳට මලවලා අරගෙන ලිපෙන් බාලා දෙහි ඇඹුල් ටිකක් දා ගත්තම හොඳටම හොඳයි...


අපේ තාත්තා ඉස්සර කලවං මැල්ලුම් මිටිය හදන්නේ මලින්ම පුංචි කොල ජාති ඒ කිව්වේ..ජපන් බටු..කිරි මදුවැල්කොල..මොනරකුඩුම්බිය..කඩුපහර කොල..තෝර කොල..කර කොල..කතුරුමුර්ගා කොල..ගිරාපලා..වගේ ඒවා මිටක් අරගෙන ඒවාට පිටින් ටිකක් විතර ලොකු කෝප්ප කොල...ෆැෂන් කොල තියලා ඔතා ගන්නවා..ඊටත් උඩින් එරබොදු කොල කිහිපයක් තියලා වට කරනවා..අන්තිමට තෙබු කොල දෙක තුනකින් මිටිය අහවර කරනවා.. එතකොට ඔය කොළ මිටිය හොදට අතට අහු වෙනවා වගේම ලියන්නත් පහසුයි..අර පුංචි කොල වර්ග මිටියෙන් ගිලිහෙන්නෙත් නැහැ...


ඉතින් එහෙම ගත්තු කොල ටික තමා අර කලියෙන් කිව්ව විදියට මලවලා දෙන්නේ... තනි තනියෙන් හදන කොල මැල්ලුමකට වඩා ඔය කලවං පලා මැල්ලුම අමුතුම රසයක් තියෙනවා.. ඒ වගේම කොල ටික මැලවීමේදී යන්තං වගේ මලවලා ගත්තම ඒ කිව්වේ කොල පාට හොදටම තියෙන හැටියට ගත්තම එක රසයකුත්..ටිකක් වැඩි පුර මලවලා අර කොල පාට ගතිය ඇරලා ගත්තම තවත් රසයකුත් තියෙනවා..මගේ පෞද්ගලික අත්දැකීම තමා තනි තනි වශයෙන් කොල මැල්ලුං හදද්දී ලාවට වගේ මැලවීමත්..කලවං පලා මැල්ලුමකදී ටිකක් වැඩි පුර මැලවීමත් හොදයි සහ ඒ දෙක අතර රසය වැඩි වීමට බලපානවා කියන කාරණාවත්..අනිත් අයගෙත් එක එක කැමති විදි නැතෑ නේද..?


ඒ වගේම තමා මැල්ලුං කිව්වහම අපිට අමතක කරන්ටම බැරි මැල්ලුමක් තමා මඤ්ඤොක්කා කොල මැල්ලුම...

සමහරු මේවත් ලියලා හදනවා උනාට මේක හදන්න හොදම විදිය තමා කොටලා..ඒ කිව්වේ මඤ්ඤොක්කා කොල හොදට වංගෙඩියේ කොටන්න ඕන..ඒ කොටන ගමන්ම තියෙනවනං නයි කොච්චි කරල් දෙහෙකුත් දැම්මනං මොනවද නිකං කනෙන් දුං විසි වෙන තරමේ රසයක් එකතු වෙනවා...එහෙම කොටන එකටම ඕනනං අනිත් දේවල් ඒ කිව්වේ පොල්..රතුළුණු වගේ කලමනාත් දාලාම උනත් කොටන්න පුළුවන්..ඊට පස්සේ ඒ කොටාපු මිශුණය තෙල් ඇබින්දක් රත් කරලා ඒකේ දාලා මලවගන්නත් ඇහැකි..එහෙම නැත්තං කොළ විතරක් කොටලා..අනිත් දේවල් වෙනම එකතු කරන්ටත් ඇහැකි.. කොහොම උනත් කොළ ටික හොඳට කෙටිලා ඉවර වෙද්දී වගේ ඕකට පොල් ටිකත් දාලා කෙටුවමත් රසයේ හොඳ වෙනසක් වෙනවා...


කොහොම උනත් මඤ්ඤොක්කා කොල මැල්ලුමක් හදලා..අලයි කරවල මොනව හරියි හොදට හොදි හිටින්න උයලා..පපඩමකුත් බැදලා ගත්තනං...මං හිතන්නේ ඒකට තමා දිවිය ලෝක රසය කියන්නේ...


කොහොම උනත් මං ගෙදර හැදුන කාලේ..ඒ කිව්වේ වයස 14ක් විතර වෙනකල්ම වගේ ඔය ආහාර රටාව එක විදියටම පැවතුනා..මොකද 14න් වගේ පස්සේ තමා මං ටික ටික පාරට වැටුනේ...කීය කීය හරි හොයන්ට හුරු උනේ.. ඊට පස්සේනං මං මස් මාළු කන්ට හුරු උනා... මොකද ගෙයින් එලියට ගියාම ගෙදරදී වගේ තෝර තෝර කන්ට හැටියක් නැති හින්දා... ලැබෙන කොයිකත් රහක් ගුණක් නොබලා ගිල්ලා...එතනදී මස් වර්ග තෝර තෝර ඉන්ට හැටියක් ලැබුනේ නැහැ...


ඒ කොහොම උනත් අදටත් මං ආසයි අර ඉස්සර විදියටම බත් ටික කන්ට..ඒ වගේම රතුළුණූ ගෙඩි ටිකක් සුද්ද කරගෙන අමුවෙන්ම බත් එක්ක කන්ටත් ආසයි..ඒ දවස්වල ඉතිං පරිප්පු ඉව්වොත් මට රතු ළුණු ඕනම තමා..පරිප්පුවල තියෙන කිරි රසයට රතුළුණූ ගෙඩියක් හපන කොට එන සැර ගතිය පුදුමෙට ගැල පෙනවා...


දැන් ඉතිං ඔහේලා දන්නවා නේද මං හරකෙක් උනේ කොහොමද කියලා..ඒ හින්දා ඔහෙලටත් එහෙම වෙන්ට ඕනනං මං වාගෙම ගෝනි ගනන් කොල ජාති කන්ට වෙයි...

කලවං පලා මැල්ලුම...


--------------------------------------------------

අවසානයේදී දුක්බරව මෙසේ ලියමි...

මට මේ දවස්වල අර ඔටුවෝ බලන උන්ගෙන් හරි ආඬපාලි...ඇයි වදේ මං මොනවා කොලාටද..? අර කලින් හිටිය ඔටු රැලට තවත් එකෙක් එක්කාසු වෙලා..හිටිංකෝ ඔය යෝධයාගේ වාසනාව අවාසනාව කොරන්ට..කොහේ ඔටුවෝ බැළුවත් එන්ට එපායෑ ගෙවල් පැත්තේ...එදාට අල්ලගඤ්ඤං ගොයියෝ...


-----------------------------------------------------
Amila & Hashi

තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...