Thursday, October 22, 2015

116. අද අපි අපේ අල වර්ග හඳුනා ගනිමු

අද අපි අපේ අල වර්ග හඳුනා ගනිමු



අද වන විට විදේශීය ආහාර හමුවේ පසුබැස ගොස්‌ තිබෙන එසේත් නොමැති නම් අතීතයේදී අපේ මුතුන් මිත්තන් පරිභෝජනය කළ ආහාර ද්‍රව්‍යයන් පිළිබඳ සොයා බැලීම සඳහා අප ගත් උත්සාහය තුළ පසුගිය සතියේදී සලකා බැලුවේ සිංහල හාලේ බත් පිළිබඳවය. ඒ සෙනෙවිරුවන් මහතා ලියූ ලිපිය මගිනි. එම ලිපියේ මඟුල් දාට ගන්නා ආදර බත පිළිබඳ මෙන්ම දෙවැනි ගමනේ දී කෑමට පිළියෙල කරන යෝදර බත පිළිබඳ ද සඳහන් විය. මෙලෙස පිළියෙල කළ විවිධ වර්ගයේ බත් වර්ග අතර ව්‍යංජනයක්‌ ලෙස මෙන්ම ප්‍රධාන ආහාර වේලක්‌ ලෙස ද අපගේ මුතුන්මිත්තන් අල වර්ග ආහාරයට ගෙන ඇත. එබැවින් මෙම සතියේදී අප ඒ පිළිබඳ සලකා බලමු.

අරණායක ප්‍රජා සංවර්ධන මධ්‍යස්‌ථානය මගින් කළ සොයා බැලීමට අනුව මඤ්ඤොක්‌කා ඇතුළුව අල වර්ග 93 ක්‌ හඳුනා ගැනීමට ඔවුන් සමත් වී ඇත. ඒ අතරින් අල වර්ග 51 ක්‌ ශීඝ්‍රයෙන් වඳවී යැමේ තර්ජනයට මුහුණ පා ඇති බැවින් එම අල වර්ග සංරක්‍ෂණය කිරීමට ද එම සංවිධානය පියවර ගෙන ඇත.

දේශීයව වගා කළ හැකි අල වර්ග 93 ක්‌ පිළිබඳ සඳහන් වුවද අද වන විට මෙරට ජනතාව වැඩිපුරම පරිභෝජනය කරන අල වර්ගය වී තිබෙන්නේ අර්තාපල්ය. අර්තාපල් ද දේශීයව වගා කළත්, ඒ සඳහා සාදා ගනු ලබන්නේ ආනයනික බීජ වර්ගයන්ය. අර්තාපල් හැරුණු විට මෙරට ජනතාව බහුලව ආහාරයට ගන්නා අල වර්ග ලෙස මඤ්ඤොක්‌කා සහ බතල හඳුනාගත හැක. මෙම අල වර්ගයන් ද පෘතුගීසි සමයේදී මෙරටට ගෙන එන ලද අල වර්ග ලෙස සැලකිය හැකි වුවත් පසුගිය කාලය තුළ දී දේශීය මඤ්ඤොක්‌කා ප්‍රභේදයක්‌ හඳුනා ගැනීමට ඉංගිරියේ ප්‍රේමරත්න මහතා සමත් වී ඇත. එම මඤ්ඤොක්‌කා වර්ගය "කිරි කවඩි" නමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජනතාවට හඳුන්වා දී ඇත.

මෙම අල වර්ගයන් හැරුණු විට උඩල, රාජා අල, ඇඟිලි අල, ගහල, කටු කුකුලල, කහ අල, කීඩාරන්, ජාවා අල, හබරල, හිරිතල, ගෝනාල, කහට අගල, කම්බු කොඩොල්, කිරි කොඩොල්, රතු කොඩොල්, කිරි වැල් අල, රටල, සුදු අල, කටු අල, බුත්සරණ, කිරි අල, කිරිබරු අල, කොකිස්‌ අල, කොළකන අල, හිඟුරල, ලේන දන්තිල, කිරි හබරල, සීරුවල්ලි, රතු අල, රත්න අල, රැවුලල, සීනි අල, සෙවෙල් අල, දන්දින අල, දෙහි අල, උයල, කඳල, හොඬල, කොහිල, කිරි සම්බල, පණු අල, සීනි කෙහෙල් අල, අතු අල, තුන් මස්‌ රෝස, තුන්මස්‌ සුදු, නිට්‌ටාල, ඉබුල්, ඕවිටි අල, කහට, පිට්‌ටු අල, ආටිචෝක්‌, පාත්තරා අල, යකු අල, කොළ හබරල, රැල්බුරුල්ලා, අඩදම්, බිනර, කාබේරි අල, වැල් අල, තිරිංගල, සව්කෙන්දා, ගොරොක්‌ අල, ගොටු අල, කිරි හිඟුරල, බෝල බුත්සරණ, සුදු බුත්සරණ, ගොම අල, හුලංකීරිය, දේශල, කළු අල, කන්ඩල, දෙමස්‌ අල, හැරමස්‌ අල, ඉන් අල, නිල් කීඩාරන් යන අල වර්ග පිළිබඳව සඳහන්වේ. (මෙහි මඤ්ඤොක්‌කා හා බතල යන අල වර්ගවල ප්‍රභේද පිළිබඳ නොවේ.)

මෙම අල වර්ගලයන් අතරින් බොහෝ ප්‍රමාණයක්‌ අපගේ මුතුන්මිත්තන් තම දෛනික ආහාර වේල් සඳහා එක්‌කර ගත් බව පැහැදිලිය. ඒ ප්‍රධාන ආහාර වේලක්‌ ලෙස සහ ව්‍යංනයක්‌ ලෙස පිළියෙල කරගැනීමෙනි.

මෙම අල වර්ගයන් අතරින් අද වන විට ප්‍රධාන වශයෙන්ම නාගරික ජනතාවගේ ආහාර වේලෙන් පමණක්‌ නොව මතකයෙන් ද ගම්බද ප්‍රදේශවල ජනතාවගේ පරිභෝජනයෙන් මෙන්ම වද වී යැමේ තර්ජනයට පවා ලක්‌වී තිබෙන අල වර්ග කිහිපයක තොරතුරු මෙලෙස සඳහන් කළ හැක.

කුකුල් බුත්සරණ හෙවත් ආටිචෝක

මෙම අල ගෙඩියක්‌ පුවක්‌ ගෙඩියක ප්‍රමාණයට මඳක්‌ කුඩාය. අල ගස පදුරු සහිතය.

මෙම අල වර්ගය අපගේ මුතුන්මිත්තන් තම ආහාර වේලට එකතු කරගෙන ඇත.

උඩල

මෙම අල වර්ගයේ වැලේ මූලයේ මෙන්ම අල වැලේ ද බෝල හැඩයෙන් යුතු අල හට ගනී.

මෙම අල වර්ගය අර්තාපල් අලවල රසයට සමාන රසයකින් යුතු බව සඳහන් වන අතර වෑංජනයක්‌ ලෙස ද පිළියෙල කර ගනී. මෙම අල වර්ගයේ වල් දර්ශක ද ඇත.

කුකුලල

මෙම වර්ගයේ අලවල හැඩය කැරට්‌ අලයේ හැඩයට සමාන වේ. අල පැණි රසයෙන් යුක්‌ත වන අතර කුඩා ප්‍රමාණයේ අල පොකුරු වශයෙන් හට ගනී. මෙම අල තම්බා ආහාරයට ගනු ලැබේ.


ගෝනාල

මෙම අල වර්ගය වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ වනාත්තර තුළ වන අතර මෙම වර්ගයේ අල ගෝනකුගේ අං තට්‌ටුවේ හැඩයට සමාන හැඩයක්‌ ගන්නා නිසා එම නමින් හඳුන්වන බව පැහැදිලිය.

කිරි අල

මෙම වර්ගයේ අල දිගැටි හැඩයෙන් සහ ප්‍රමාණයෙන් විශාලය. මෙම අල වර්ගය ආහාරයට ගන්නා විට මතු වන කිරි රසය නිසා මෙම අල වර්ග කිරි අල යන නමින්ම හඳුන්වන බව සඳහන් වේ.

කිඩාරන්

කිඩාරන් යන නම ඇසූ සැනින් බොහෝ දෙනාගේ මතකයට නැඟෙන්නේ දුඟද හමනා මලකි. එසේ වුවත් කිඩාරන්වල ආහාරයට ගන්නා ප්‍රභේද මෙන්ම වල් දර්ශක ද ඇත.

කිඩාරන් වල ළා කොළ පාට කඳ සහ සුදු පුල්ලි ඇති වර්ගය කෑමට ගන්නා අතර ශාකයේ ගොබය වෑංජනයක්‌ ලෙස ද පිළියෙල කර ගනී.

කොලොං කීඩාරං ලෙස සඳහන් ප්‍රභේදය වල් දර්ශකයයි. මෙම ශාකයේ කඳ රතු පාටෙන් යුතු වන අතර එහි පොළඟකුගේ මෙන් පුල්ලි හට ගනී. මෙහි අල කෑමට නොගත්තත්, ඖෂධ සඳහා භාවිත කරන බව සඳහන් වේ.

මෙහි ඡායාරූප සහිතව සඳහන් කර ඇත්තේ අපගේ මුතුන් මිත්තන් එදිනෙදා ආහාරයට ගත් අල වර්ග කිහිපයක්‌ පමණි. මෙලෙස ආහාරයට ගත් අල වර්ග අද වන විට පරිභෝජනයෙන් ඈත් වී තිබූ පමණින් අතීතයේදී අපේම වූ ආහාර නොවූ බව සඳහන් කළ හැකිද?

(ඡායාරූප සහ තොරතුරු දමයන්ති ගොඩමුල්ල ඇතුළු අරණායක ප්‍රජා සංවර්ධන මධ්‍යස්‌ථානය විසින් ප්‍රකාශයට පත් කර ඇති "සරු දිවියට දේශීය අල" යන කෘතිය ඇසුරිනි. දමයන්ති ගොඩමුල්ලට මෙන්ම මතුගම සෙනෙවිරුවන් මහතාට ද අපගේ ප්‍රණාමය හිමිවේ.)

එරික්‌ ගාමිණි ජිනප්‍රිය
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

228. කැකිරි මස් වගේ රසට උයමු

කැකිරි මස් වගේ රසට උයමු  අවශ්‍ය ද්‍රව්‍ය-  කැකිරි ග්‍රෑම් 350 පොල් කිරි කෝප්ප 1/1 මිරිස් කුඩු මේස හැදි 1  බැදපු තුනපහ කුඩු මේස හැදි 1  ගම්මි...