Wednesday, March 20, 2019

159. අවන් එකක් නැතුව බනිස් සාදාගන්නා ආකාරය

අවන් එකක් නැතුව බනිස් හදමු *********************************

 මේක අවන් එකක් නැති අයට නම් සුබ ආරන්චියක් වේව් කියල හිතනවා. අද කියන්න යන්නෙ අවන් එකක් නැතුව කොහොමද බනිස් ගෙඩියක් හදාගෙන්නෙ කියලා. අහ් තව දෙයක් මේක හදන්න බිත්තර දාන්නෙත් නෑ. හරි ඔන්න අහෙනම් ඕන කරන දෙවල් ටික.

 අවශ්‍ය දේවල් - මුලින්ම මේ ටික ගන්න, 
පාන් පිටි කෝප්ප 2 
ඊස්ට් තේ හැදි 2 
සීනි මේස හැදි 3 
කිරි පිටි මේස හැදි 3 
බේකින් පවුඩර් මේස හැදි 1/4 
තෙල් කෝප්ප 1/4
 ඇල් මැරුනු කිරි කෝප්ප 1/4
 ලුණු ටිකක් 
තව අපිට ඕනෙ - දිය කරගත් බටර් ටිකක් (පිටි ගුලිය අනනකොට යොදා ගන්නේ නෑ. තැටියේ ඇතුලේ ගා ගන්නයි, 

අන්තිමට බනිස් උඩින් ගා ගන්නයි විතරයි යොදා ගන්නේ.)
 ලුණු කුඩු හෝ කැට (කැටනම් ගොඩක් හොදයි. මේ ලුණු ටික පිටි ගුලිය අනනකොට යොදා ගන්නේ නෑ. වලදට දාන්නයි පාවිච්චි කරන්නේ.) 

සාදාගන්නා ආකාරය - මුලින්ම වියලි ද්‍රව්‍ය සියල්ල එකතු කරන්න. සේරම හොදට කවලම් කරගන්න. ලුණු ටිකක් වෙන්න දාගන්න. ඊට පස්සෙ තෙල් ටික දාගන්න. කිරි ටිකක් වෙන්න දාගන්න. ඊට පස්සෙ අතින් හොදට අනන්න. අනන ගමන් කිරි ටික ටික දාගෙන අතේ නොඇලෙන පදමට ඩෝ එක (පිටි ගුලියක්) හදාගන්න. ඊට පස්සෙ තෙල් ටිකක් යාන්තමට ඩෝ එකේ ගාලා විනාඩි 6-8 වගේ හොදට අත් ගසාගන්න (හොදට අනාගන්න). පිටි එක හොදට අනන තරම තමයි බනිස් එක මෘදු වෙන්නෙ. හොදට අත් ගසාගත්නට පස්සෙ පැයක් විතර වහල තියන්න. පැයකට පස්සෙ ඩෝ එකෙන් 70g වගේ පොඩි කොටස් කඩාගෙන වෙන් කරගන්න. ඔන්න දැන් ගන්න රවුම් තැටියක් (අපිට රවුම් එක වලද ඇතුලට දගන්න ලේසියි ඒකයි. තව චුට්ටක් කියවන් යන්නකෝ. එතකොට තේරෙයි ඇයි මේ කියලා). ඒකෙ බටර් ටිකක් ගාගන්න. ඊට පස්සෙ අර වෙන් කරගත්තු කොටස් ටික බෝල කරගෙන බනිස් වගේ ලස්සනට හදාගෙන ඒකෙන් ටිකක් තැටියෙ ඇතුලේ පරතරේ ඇතිව තියාගන්න. පස්සෙ පැය බාගයක් වහල තියන්න. ඒත් පිපිලා මදී වගේ නම් තව විනාඩි 20 විතර වහල තියන්න (පිම්බිලා එනවා බනිස් ටික). ඊට පස්සෙ තමයි වැඩේ තියෙන්නෙ. අපිට ඕන වෙනවා ටිකක් කට ලොකු වලදක්! (රාස්පානක් ගන්න)[අපි කලින් බනිස් ටික තියාගත්ත තැටිය මේ වලද ඇතුලට බස්සන්න පුලුවන් වෙන්න ඕනෙ] වලදෙ අඩියට ලුණු කුඩු කෝප්ප 1/2 හොදට විහිදෙන විදිහට දාන්න. ඊට පස්සෙ ඒක උඩින් රැක් එකක් වගේ මොකක් හරි තියාගන්න (කරන විදිහ පහළ ෆොටෝ වල තියෙනවා). ඊට පස්සෙ වලද විනාඩි 10 මද ගින්නෙ පියනකින් වහල තියන්න. මේ වෙනකොට ඔයාලට පෙනේවි අපි කලින් පැත්තකට කරලා වහලා තිබ්බ බනිස් ටික හොදට පිපිල තියෙනවා. දැන් ඒ බනිස් උඩින් කිරි ටිකක් ගා ගන්න. ඊට පස්සෙ අර අපි ලුණු දාල වහපු වලද පරිස්සමට ඇරල අර බනිස් තැටිය රැක් උඩින් තියන්න. තියෙන ගින්දර ප්‍රමානෙම විනාඩි 5 වගේ වහා තියල ඊට පස්සෙ ගින්දර තව අඩු කරල ඒ විදිහටම තියල තියන්න තව විනාඩි 25 විතර. ඔන්න ඊට පස්සෙ ඇරල බලන්නකෝ මල් හතයි. ඊට පස්සෙ හෙමිහිට එලියට අරගෙන බනිස් ටික උඩින් බටර් ටිකක් ගාගන්න. එච්චරයි දැන් ඉතින් නිවුනට පස්සෙ කන්න තමයි තියෙන්නෙ.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Sunday, March 17, 2019

158. රසම රස මෆින් සාදාගන්නා ආකාරය

රසම රස මෆින් ගෙදරදීම හදමු ********************************* 

සේවරි මෆින්, එහෙමත් නැත්නම් රසම රස කප් කේක් වර්ගයක් ගෙදරදීම හදන්නෙ කොහොමද කියලා තමයි දැන් කියලා දෙන්න යන්නෙ. මීට කලිනුත් "ඉවුම් පිහුම්" ඇප් එකේ මෆින් වර්ග හදන විදිහ කියලා දීලා තියෙනවා තමයි. මේක චුට්ටක් වෙනස්. ඔයාලගෙ ගෙවල් වලත් ඉන්නවා නම් කෑමට හොර චූටි බබාලා, ඕගොල්ලන්ට පුළුවන් වෙනසකට වගේ මේ කෑම ඒ ගොල්ලොන්ට හදල දීල බලන්න. මේක බැලූ බැල්මට කප් කේක් එකක් වගේ. හැබැයි පැණි රහ නැහැ. මේක ලුණු රහයි. පොඩ්ඩොනම් ඔන්න ගොඩක් කැමති වෙයි කන්න. බලන්නකෝ එහෙනම් මේ මෆින් හදන්නේ කොහොමද කියලා..

 අවශ්‍ය දේවල් - 
පාන් පිටි කෝප්ප 2 (300 g) 
චෙඩාර් චීස් කෝප්ප 3/4 (55g) 
සිහින්ව කපාපු හැම් කෝප්ප 1/2
 ඇට ඉවත් කර ලා පොඩියට කපාගත්තු කපාගත් මාළු මිරිස් කරල් 1
 හෝ බෙල් පෙපර් සිහින්ව කපා ගත් හතු කෝප්ප 1/4 
බටර් ග්‍රෑම් 150ක්
 උණු කරලා නැවුම් කිරි කෝප්ප 1 (250 ml) 
යන්තමට බීට් කර ගත්ත බිත්තර 1 කුඩාවට කපාගත්ත පාස්ලි මේස හැඳි 1


 සාදාගන්නා ආකාරය -
 මුලින්ම ඔයාගේ අවන් අවන් එක සෙල්සියස් අංශක 180 ට රත් කරගන්න. ඔයාගේ අවන් එක ෆැන් ෆොස්ඩ් අවන් එකක් (Fan-forced Oven) නම් සෙල්සියස් අංශක 160 ට රත් කර ගන්න. ඒ වගේම කෝප්ප දොළහේ මෆින් ට්‍රේ (මේ කියන්නෙ මෆින් හදාගන්න පාවිච්චි කරන තැටිය ගැන. ඒකේ තියෙන වලවල්/කෝප්ප වලට මිශ්‍රණය දාලා තමයි අපි මෆින් හදාගන්නේ.) එකකට මෆින් ලයිනර් (මෆින් ලයිනර් කියන්නෙ මෆින් ට්‍රේ එකේ තියෙනවා කිව්ව වලවල් වලට දා ගන්න කාඩදාසි අච්චු වගේ ඒවට. අර අපි කඩෙන් ගන්න ස්පන්චි වල එහෙම තියෙන්නෙ කොලයක්. අන්න ඒක. මෆින් ලයිනර් වල ෆොටෝ එකක් පහල තියෙනවා.) 12 ක් දාලා ලෑස්ති කරගන්න. ඉන්පසු ලොකු භාජනයක් අරගෙන පිටි, චීස්, මාලු මිරිස්, හතු සහ මාළු මිරිස් ටික දා ගන්න. ඒ වගේම ජෝගුවක් ඇරගෙන බිත්තර, කිරි සහ බටර් ටික දාගෙන මිශ්‍ර කර ගන්න. දැන්, තෙත අමුද්‍රව්‍ය ටික (මිශ්‍ර කරගත්ත බිත්තර, කිරි වගේ තෙත අමුද්‍රව්‍ය ටික ටික) වියලි අමු ද්‍රව්‍ය ටිකට දාගෙන හොඳින් කලවම් වන තුරු මිශ්‍ර කරන්න. අන්තිමට කලින් සූදානම් කරගත්තු බේකින් ට්‍රේ එකට මේ මිශ්‍රනය වක්කරලා විනාඩි 15-20 ක් පමණ කාලයක් බේක් කර ගන්න. වැදගත් - චෙඩාර් චීස් ඕනම සුපිරි වෙළෙදසලක මිළදී ගන්න තියෙනවා. වෙළඳ නාමයක් කිවුවොත් KRAFT ලංකාවෙ ඕනම පලාතක හොයගන්න පුලුවන්. හැම් කියන්නෙ ඌරු මස් නිශ්පාදනයක්. ඔයා ඌරු මස් නොකන කෙනෙක්නම් කුඩා කැබලි වලට කපාගත්ත කුකුල් මස් උනත් පාවිච්චි කරන්න පුලුවන්. ආර්පිකෝ සුපිරි වෙළෙඳසල් වල මම දැකලා තියෙනව කුකුල් මස් බේකන් විකුණන්න තියෙනවා. මාලු මිරිස් වෙනුවට මම පාවිච්චිකලේ පාට දෙකක බෙල් පෙපර්. මේවත් ඕනම සුපිරි වෙළෙදසලක මිලදී ගන්න තියෙනවා. මගේ පුතා බෙල් පෙපර් කන්න හරි කැමතියි. පාට දෙකකින් ගත්තම ලස්සන පාටකුත් ඒකට එකතුවෙනවා. මම පාවිච්චි කලේ බටන් මශ්රූම් එහෙමත් නැතිනම් බොත්තම් හැඩයේ හතු. මේවා ඕනම සුපිරි වෙළෙදසලක හරිම ලේසියෙන් හොයාගන්න පුලුවන්. පාස්ලි කියන්නේ කෑම උයන්න පාවිච්චි කරන පැලෑටියක්. බොහොම ලේසියෙන් ඕනම සුපිරි වෙළෙදසලකින් හොයා ගන්න පුලුවන්.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, March 8, 2019

157.  රසම රස නාන් රොටී හදමු

රසම රස නාන් රොටී හදමු 

දැන් ඔයාලට මේ කියලා දෙන්න යන්නෙ ඉන්දියන් කෑමක් හදාගන්න විදිහ. නාන් හදාගන්න විදිහ! මීට කලිනුත් ඉවුම් පිහුම් ඇප් එකේ නාන් හදන විදිහ කියලා දීලා තියෙනවා තමයි. නමුත් ඒ ලිපිය ඇප් එක හදපු මුල් කාලේ දාපු එකක් නිසා ඒකෙ කරුණු මේ ලිපියේ තරම් විස්තර කරලා නෑ. නාන් ගැන කිව්වොත් නාන් ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ බහුලව කෑමට ගන්න, ඒ වගේම පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය වැනි ආසියානු රටවලත් කෑමට ගන්න ටිකක් ජනප්‍රිය ආහාරයක්. ඉතින් ඔයාලට මේ කියලා දෙන්න යන්නෙ නාන් ලේසියෙන්ම හදාගන්න පුලුවන් ක්‍රමයක්. බොහොම පහසුවෙන් හදාගන්න පුලුවන් මේ නාන් කුඩා දරුවන් ඇතුළු ඔබේ පවුලේ සියළු දෙනාට ආහාරයට ගන්න පුළුවන්. ඕනෑම ආකාරයක හොදි වර්ගයක් සමඟ යසට ගැලපෙන මේ නාන් රොටි, ඕනෑම මස් වර්ගයක, මුහුදු ආහාර වර්ගයක හෝ එළවළු වර්ගයක හොදි සමඟ ආහාරයට ගන්න පුළුවන්. දවල් ආහාරයෙන් ඉතිරි වූ හොදි ඇත්නම්, රාත්‍රී ආහාරයට නාන් පිළියෙල කරගෙන ඒ සමඟ ඉතා පහසුවෙන් රසවිඳින්න පුළුවන්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා. 

අවශ්‍ය දේවල්: (රොටී 6ක් හදන්න) 
*පාන් පිටි කප් 2 
*මුදවාපු කිරි හෝ යෝගට් කප් 1/2 
*මඳ උණුසුම් වතුර කප් 1/2
 *ඇක්ටිව් යීස්ට් පැකට් 1 (7g පමණ)
 *සීනි තේ හැඳි 1
 *ලුණු තේ හැඳි 1/2
 *තෙල් මේස හැඳි 1 (පොල් තෙල් හෝ එළවළු තෙල්)
 *නාන් පුළුස්සාගන්නා තැටියට තැවරීමට බටර් හෝ තෙල් ස්වල්පයක්. 

 සාදාගන්නා ආකාරය: 

Aමුලින්ම පිටි ටික අනාගමු (පැයකට කලින්), මුලින්ම කුඩා භාජනයකට සීනි දමා, එයට වතුර සහ යීස්ට් පැකට්ටුව දමන්න. ඊට පස්සෙ ඒ මිශ්‍රණය කලවම් කරලා පෙණ දමා යීස්ට් සක්‍රීය වන තෙක් විනාඩි 10ක් පැත්තකින් තිබෙන්න හරින්න. ඊට පස්සෙ තරමක් ලොකු භාජනයකට පිටි, ලුණු, තෙල් සහ යෝගට් දමාගන්න. දැන් සක්‍රීය වූ යීස්ට් මිශ්‍රණය ඒකට එකතු කරන්න ඕනෙ. ඊට පස්සෙ සුමුදු පිටි බෝලයක් ලැබෙන සේ විනාඩි කිහිපයක් හොඳින් මිශ්‍රණය අනාගන්න. දැන් අන්තිමට ප්ලාස්ටික් රැප් එකකින් හෝ තෙත රෙදි කඩකින් ආවරණය කර උණුසුම් ස්ථානයක පැයක් පමණ පිපෙන්න තබන්න. ඔන්න පිටි ටික හරි! දැන් එහෙනම් හදමු නාන් ටික, පැයක් ගියාට පස්සෙ, පිටි ස්වල්පයක් අතුරා ගත් මේසයක් මත පිටි බෝලය (ප්‍රමාණයෙන් වැඩිවී තිබිය යුතුයි) තබා එය දිගටි හැඩයකට සකසා ගන්න. ඊට පස්සෙ ඒක සමාන කොටස් 6 කට කඩාගන්න. ඊට පස්සෙ එම කොටස් කුඩා පිටි බෝල 6ක් වන සේ බෝල කරගන්න. දැන් ඒ බෝල එකිනෙක රෝලින් පින් එකක් භාවිතා කර රොටියක් වගේ තුනී කරගන්න ඕනෙ. හරි! දැන් බටර් හෝ තෙල් තැවරූ තැටියක් ලිපේ තියලා මධ්‍යම ප්‍රමාණයට රත් කරගන්න. දැන් කරන්න තියෙන්නෙ ඒ තැටියට නාන් රොටිය දාලා බුබුළු මතුවන තෙක් විනාඩි 2ක් පමණ එක් පැත්තක් පුළුස්සගෙන, ඊට පස්සෙ අනෙක් පැත්ත හරවලා තවත් විනාඩියක් පමණ හොඳින් පුළුස්සා ගන්න එක. මේ විදිහටම අනෙක් නාන් රොටි 5ත් පිළියෙල කරගන්න ඕනෙ. ඊට පස්සෙ හදාගත්ත නාන් රොටි මතට දියවුණු බටර් අතුරා, කොත්තමල්ලි කොළ වැනි යමක් උඩින් ඉස උණු උණුවේ ගෙදර අයට පිළිගන්වන්න ඔයාලට පුලුවන්. වැඩේ ඉවරයි! ඔච්චරයි! හදලා බලන්නකෝ එක පාරක්! මේවාගේ පෙනුමත් එක්ක හොද සුවඳකුත් තියෙන හින්දා දැක්කහම කටට කෙළ උනනවා. ඒ වගේම රසයි!  

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Tuesday, March 5, 2019

156. රසම රස එළවළු චොප්සි සාදාගන්නා ආකාරය

රසම රස එළවළු චොප්සි හදමු 

හැමෝම වගේ අපෙන් අහලා තිබ්බා රසට එළවළු චොප්සි හදාගන්නේ කොහොමද කියලා. ගෙදර අය පුදුම කරන්නත් එක්ක අදම හදලා රස වෙනසක් කරන්න

. අවශ්‍ය ද්‍රව්‍ය මෙන්න – 
කොටු හැඩයට කපාගත් කැරට් ග්‍රෑම් 100, 
කොටු හැඩයට කපාගත් අල ග්‍රෑම් 100, 
කුඩා කැබලි වලට කපාගත් බෝංචි ග්‍රෑම් 100, කපාගත් බේබි කෝන් ග්‍රෑම් 25 ක්, 
කොටු හැඩයට කපාගත් පිපිඤ්ඤා ග්‍රෑම් 25 ක්,
 රතු සහ කොල බෙල් පෙපර් කැබලි කීපයක්, 
තලාගත් ඉගුරු සහ සුදු ළූණු, 
ඔයිස්ටර් සෝස් තේ හැඳි 1 ක්, 
කෝන්පිටි තේ හැඳි 2 ක්. 

 සාදන ක්‍රමය – 
වතුර ටිකක් ලිප තබා උතුරන විට ලුණු ස්වල්පයක් හා සීනි ස්වල්පයක් දමන්න. එයට කොටු කපාගත් කැරට්, අල හා බෝංචි දමා වතුර හොදින් නටන විට එළවළු කැබලි ටික පෙරා වතුර වෙනමත් එළවළු වෙනමත් තබා ගන්න. තෙල් ටිකක් ලිපතබා රත්වන විට තලාගත් ඉගුරු සුදු ළූණු දමා තෙම්පරාදු කරන්න. කලින් පෙරා තබාගත් වතුර වලින් කීපයක් මෙයට එකතු කරන්න. එයට සීනි මේස හැදි 1 ක් දමා හැදි ගාන්න. ඉන්පසු ඔයිස්ටර් සෝස් දමා එය කැටි නොගැසෙන පරිදි හොදින් දියවනතුරු හැදි ගාන්න. කෝන්පිටි මේස හැදි දෙකක් ඇල්වතුර ස්වල්පයක දියකර එයද ලිප ඇති භාජනයට ටික ටික එකතු කරමින් හැදි ගාන්න. එවිට උකු මිශ්‍රණයක් ලැබේවි. දැන් මෙම මිශ්‍රණයට තම්බා නොගත් පිපිඤ්ඤා, බෙල් පෙපර්, බේබි කෝන්, දමා විනාඩියක් පමණ තැම්බෙන්නට හැර මුලින් තම්බාගත් කැරට්, බෝංචි එකතු කරන්න. කැමති නම් ගම්මිරිස් ස්වල්පයක් ද ඉසින්න. මිශ්‍රණය පදමට එනවිට ලිපෙන් බාගන්න. තවත් අයෙකුට බලන්න මේ ලිපිය ශෙයා කරන්නත් අමතක කරන්න එපා!  

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

155. ඉතාලි ක්‍රමයට චීස් පැස්තා සාදාගන්නා ආකාරය

ඉතාලි ක්‍රමයට චීස් පැස්තා 

    පැස්තා ඉතාලියට ආවේණික වූ ආහාරයකි. රාත්‍රී ආහාරයට වගේම උදෑසන ආහාරයටත් සුදුසුයි. 

 අවශ්‍ය ද්‍රව්‍ය 

 තම්බාගත් පැස්තා ග්‍රෑම් 200 ක්
 ඉස්සෝ ග්‍රෑම් 200 ක්
 සුදුලූනු බික් 6 ක්
 තක්කාලි ගෙඩි 2 ක්
 බැසිල් කොළ ස්වල්පයක්
 ෆ්‍රෙෂ් ක්‍රීම් 
 අමු මිරිස් කරල් 3 ක් 
ඔලිව් තෙල් මේස හැඳි 4 ක් 
 තක්කාලි සෝස් මේස හැඳි 6 - 8 ක්
 ලොකුලූනු ගෙඩි 2 ක්
 ලුණු රස අනුව
 තක්කාලි ගෙඩියක්  

 සාදන ක්‍රමය 
 පෑන් එකක් ළිප තබා ඔලිව් තෙල් ස්වල්පයක් දමන්න. තෙල් රත් වූ විට සිහින්ව කපාගත් ලූනු එක් කර මද වේලාවක් තෙම්පරාදු කරන්න. එයටම සිහින්ව කපාගත් සුදුලූනු සහ අමුමිරිස් ද එක්කරන්න. එය තෙම්පරාදු වූ පසු ෆ්‍රෙෂ් ක්‍රීම් ද එයට එක්කර හොඳින් මිශ්‍රකරන්න. ඉන්පසු සුද්දකර, සෝදා ගත් ඉස්සන් එක්කර මද වේලාවක් තැම්බෙන්න හරින්න. එයට, කොටු හැඩයට කපාගත් තක්කාලි සහ තම්බාගත් පැස්තා එක්කර හොඳින් මිශ්‍රකරන්න. එයට ඔලිව් තෙල් මේස හැඳි 2 ක් එක්කර නැවත කලවම් කරන්න. අවසානයට ලුණු සහ ගම්මිරිස් දමා තක්කාලි සෝස් ද එක්කර හොඳින් මිශ්‍රකර දීසියකට දමාගන්න. බැසිල් කොළ උඩින් ඉස අලංකාර කරගන්න.   

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

154. දියබතක් සාදාගන්නා ආකාරය

දියබත් සාදාගන්නා ආකාරය 


අවශ්ය දේ
 රැයක් වතුරෙන් පොගවා ගත් බත් 
සිහින්ව කපා ගත් රතුලූනු 
සිහින්ව කපා ගත් අමු මිරිස්
 සිහින්ව කපා ගත් තක්කාලි කෑල්ලක් ( අවශ්‍යම නෑ ) 
සිහින්ව ගා ගත් උම්බලකඩ 
උකු පොල් කිරි 
රස අනුව ලුනු සහ දෙහි ඉස්ම 

සාදන ආකාරය 

ගොඩක් වෙලාවට රෑට ඉතිරි වුනු බත් වලින් තමයි උදේට කන්න දියබත් හදන්නෙ. ඒ ඉතිරි වුනු බත් එක වැහෙන්නම වතුර දාල තියන්න රැයක්. ඊට පස්සෙ උදේට ඒ වතුර ටික පෙරා ගෙන අයින් කරල බත් ටික විතරක් බාජනයක දාන්න. එයට කපා ගත් රතුලූනු,අමු මිරිස්, තක්කාලි,උම්බලකඩ දාන්න. එයට රස අනුව ලුනු සහ දෙහි ඉස්ම එකතු කර උකු පොල් කිරි දමා හැන්දකින් කලවම් කරන්න. ඉතාම රසවත් උදෑසන ආහාරයක්

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, March 1, 2019

153. අක්කාපාන කොල මැල්ලුම සාදාගන්නේ කෙසේ ද?

අක්කාපාන කොල මැල්ලුම සාදාගන්නේ කෙසේ ද?

අවශ්‍යය ද්‍රව්‍යය

අක්කපාන  කොල මිටක් ( තුන් දෙනෙක්ට)
ගා ගත් පොල් ටිකක්
රතු ලූනු හෝ ලොකු ලූනු
අමුමිරිස් කරල් 3
රස පමනට ලුණු
කහ කුඩු ස්වල්පයක්
එලවලු තෙල් හෝ පොල් තෙල් මේස හැදි 1 1/2
දෙහි යූෂ බිංදු කීපයක් 

සාදන විදිය.
අක්කපාන කොල  ටික සෝදා වතුර පෙරෙන්න තියල හීනියට කොල පොඩි නොවන සේ ලියා ගන්න.(කොල පොඩි උනොත් තිත්ත ගතියට එනව .ඒ නිසා .මම නම් කැමති තිත්ත රසට.ඒ නිසා අවුලක් නෑ.අවශ්‍යය කොල ටික හීනියට ලියා ගන්න ).ඉට පස්සෙ ඒකට පොල් ටිකයි හීනියට ලියාගත් අමුමිරිස් ලූනූ දාල ලුණුත් දාල කහ කුඩු ටිකත් දාල හොදට මික්ස් කරන්න.(මැල්ලුම අනා ගන්න ).දෙහි යුෂ බිංදු කීපයක් ද එක් කරන්න  පස්සෙ ඔයාල රස බලන්න.


අක්කපාන  මැල්ලුමත් එක්ක කෑමට සුදු බත් පරිප්පු මාළු මිරිසට පපඩමක් මිරිස් කරලක් බැදල ගත්තම බඩ පැලෙන්න කන්න පුළුවන් ඔන්න දෙයියනේ කියල 😂😂😂😂😂😂 ...

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...